මගී ප්‍රවාහන බස් රථ රියදුරන් ඉලක්ක කරගනිමින් අලුතින් ආරම්භ කරන ලද ජංගම රසායනාගාර පරීක්ෂණ වැඩසටහනේදී රියදුරන් 56 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් දස දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හඳුනාගැනීමේ අරමුණින් පසුගිය ජනවාරි 22 වනදා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදු වූ අතර එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී අයිස් (Ice), හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මූලික වශයෙන් අනාවරණය වී ඇති අතර එම රියදුරන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
අහඹු ලෙස සිදුකළ සුළු පරීක්ෂණ සංඛ්‍යාවකින් මෙතරම් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම ඉතා බැරෑරුම් මෙන්ම සංකීර්ණ තත්ත්වයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් රියදුරන් විවිධ සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ තොරතුරු හුවමාරු කර ගනිමින් පරීක්ෂණ සිදුකෙරෙන මාර්ග මඟහැර යාමට උත්සාහ කර ඇති බව ද නිරීක්ෂණය වී තිබේ.
මෙම ආරක්ෂිත වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බස් රථ හිමියන් මෙන්ම මහජනතාව ද දැඩි අවධානයකින් යුතුව සහයෝගය ලබා දිය යුතු බව රජය අවධාරණය කරයි. බස් රථ රියදුරන් සම්බන්ධ මෙම පරීක්ෂණ වැඩසටහන දැනට බස්නාහිර පළාතේ ආරම්භ කර තිබුණද, ඉදිරියේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත්, එහි වාර ගණන ඉහළ නැංවීමටත් ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
