පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව විත්ති පාර්ශවය පොරොන්දු වූ රුපියල් පනස් දහසක මුදලක් ලබා නොදුන් බව පවසමින් පුද්ගලයෙකු අද (24) පෙරවරුවේ සාලියවැව අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරස්ථාන පරිශ්‍රයේ ඇති දිවුල් ගසකට නැග විරෝධතාවයක නිරත විය. සාලියවැව රොටවැව පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙකු වන එස්.එම්.
ජයවීර බණ්ඩා නැමැත්තෙකු විසින් මෙම විරෝධතාවය දියත් කරනු ලැබූ අතර එම අවස්ථාවේදී විහාරස්ථාන පරිශ්‍රය තුළ කරුවලගස්වැව සමත මූල මණ්ඩලයේ මාසික රැස්වීමද පැවැත්වෙමින් තිබී ඇත.මීට පෙර සමත මණ්ඩලයේදී මෙම පහරදීමේ සිද්ධිය විභාගයට ගත් අවස්ථාවේදී ඇති කරගත් එකඟතාවයකට අනුව අදාළ මුදල ගෙවීමට විත්ති පාර්ශවය එකඟ වී තිබුණද, එම පොරොන්දුව දිගින් දිගටම කඩ කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බව විරෝධතාකරු සඳහන් කළේය. තමන් මේ පිළිබඳව අදාළ බලධාරීන් කිහිපවරක් දැනුවත් කළද ඉන් සහනයක් නොවූ බැවින් තමන්ට හිමිවිය යුතු මුදල එකවර ලබාදීමට කටයුතු කරන ලෙස හෝ විත්තිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට අවශ්‍ය ලිපියක් නිකුත් කරන ලෙස ඔහු සමත මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම ඉටු නොවන තාක් තමන් ගසෙන් බැසීමට සූදානම් නැති බවට විරෝධතාකරු අවධාරණය කළ අතර පසුව පැන නැගුණු තත්ත්වය සලකා බැලූ සමත මූල මණ්ඩලයේ නිලධාරියෙකු විසින් එහි සිටි සාලියවැව පොලිසියේ නිලධාරියෙකු වෙත ලිපියක් නිකුත් කිරීමට පියවර ගත්තේය. එම ලිපිය ලබාදීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කර ඔහු ගසෙන් බිමට බැස ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
