හොරණ ප්‍රදේශයේදී යතුරුපැදි ධාවන තරගයක නිරතව සිටියදී මෝටර් රථයක ගැටී මියගිය දාහත් හැවිරිදි පාසල් සිසුවාගේ අවමංගල්‍ය පෙරහරේදී අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙකු ලබන පෙබරවාරි 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ නියෝග කළේය.
හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කවිඳු දිල්ෂාන් සහ වල්පිට පදිංචි 22 හැවිරිදි මනුෂ ආදිත්‍ය යන තරුණයන් දෙදෙනා මෙලෙස බන්ධනාගාරගත වූ අතර ඔවුන් අවමංගල්‍ය පෙරහරේදී පොදු මාර්ගයේ අවිචාරවත් ලෙස තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී පොලිස් රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කර සිටියේ අදාළ අවමංගල්‍ය පෙරහරේදී තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කළ අනෙකුත් තරුණයන් සහ මියගිය සිසුවා සහභාගී වූ මාරක යතුරුපැදි තරගයට සම්බන්ධ වූ තවත් යතුරුපැදි දොළහක පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. එමෙන්ම නීති විරෝධී ලෙස මෙම තරග සංවිධානය කළ පුද්ගලයන් මෙන්ම එම අවස්ථාව ඡායාරූපගත කළ සහ වීඩියෝ ගත කළ පුද්ගලයන් ද සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සාධනී දිසානායක මහත්මිය පෙනී සිටි අතර පොලිස් රථවාහන අංශයේ සැරයන් දිමුතු මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා සිටියේ මෙම අනතුරුදායක ක්‍රියාවන් සමාජ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන මෙවැනි අනතුරුදායක යතුරුපැදි තරග මැඩපැවැත්වීම සඳහා පොලිසිය මේ වන විට දැඩි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මේ වසරේ ගෙවී ගිය කෙටි කාලය තුළ පමණක් යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් 52 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම 600cc සිට 1000cc දක්වා වූ අධි ධාරිතා යතුරුපැදි සහ නීති විරෝධී ලෙස එකලස් කරන ලද යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට නියෝග නිකුත් කර ඇති අතර එවැනි වැරදි සඳහා රුපියල් ලක්ෂ දෙක දක්වා වූ ඉහළ දඩ මුදල් නියම කිරීමට ද හැකියාව පවතී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කරන්නේ මහා මාර්ගයේ ධාවනය සඳහා අවසර ඇත්තේ 450cc දක්වා එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදිවලට පමණක් බවත් වයස අවුරුදු 18ට අඩු දරුවන්ට යතුරුපැදි ලබාදෙන දෙමාපියන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. ජාඇල, වැල්ලවත්ත, බෝකුන්දර සහ ගම්පහ වැනි ප්‍රදේශවල මෙවැනි තරග බහුලව වාර්තා වන බැවින් ඒවා මැඩපැවැත්වීමට සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර පොදු ජනතාවට බාධා පමුණුවමින් අවමංගල්‍ය පෙරහරවල කලහකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් කිසිදු සහනයක් නොදක්වන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
