10-low-floor-buses-to-be-brought-for-the-transportation-of-the-disabled-mp-sugath-wasantha

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පසුගියදා (03) හොරණදී ප්‍රකාශ කළේ, 2026 වසර වන විට මෙරට ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිපදවූ 'පතුල පහළ බස්' (Low Flow bus) රථ දහයක් ජාතික ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ අයිතිවාසිකම් පනත මෙම වසරේදී සම්මත කිරීමටත්, ප්‍රවේශ පහසුකම් පිළිබඳ යාවත්කාලීන කරන ලද රෙගුලාසි ගැසට් කිරීමටත් කටයුතු කරන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.




එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙම වසර තුළ සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය. මෙහි අවසාන අරමුණ වන්නේ, අයිතිවාසිකම්වලින් සවිබල ගැන්වූ ආබාධිත පුරවැසියෙකු බිහිකිරීමයි. ආර්ථික, දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන්ද සමෝධානික සමාජයක් තුළ ආබාධිත පුද්ගලයන්ට අභිමානවත් ජීවිතයක් ලබා දීමට රජය කැපවී සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරක් ගතවන මේ මොහොතේ, ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. ආබාධිත පුද්ගලයන් සඳහා කෙරෙන ගෙවීම් විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර, කිසිදු සීමාවකින් තොරව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. පොරොත්තු ලේඛනවල රැඳී නොසිට, ආබාධිත පුද්ගලයන්ට අදාළ දීමනා සඳහා ලියාපදිංචි වී ඒවා ලබා ගැනීමේ අවස්ථාවද දැන් උදා වී ඇත. මෙම ක්‍රියාමාර්ග මගින් ඔවුන්ගේ දෛනික ජීවිතයට සහය වීමට අමතරව, ඔවුන් මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට මුළුමනින්ම ඒකාබද්ධ වූ සම අයිතිවාසිකම් ඇති පුරවැසියන් බවට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සුගත් වසන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.




කෙසේ වෙතත්, විපක්ෂයට කිසිදු දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බැවින්, ඔවුන් සුළු කාරණා අල්ලාගෙන මාධ්‍ය හරහා ජනතාව නොමග යැවීමට උත්සාහ දරන බවද සුගත් වසන්ත මන්ත්‍රීවරයා චෝදනා කළේය. එහෙත්, මෙරට අතිබහුතර ජනතාව විපක්ෂයේ මෙම ක්‍රියාවන්ට රැවටෙන්නේ නැති බවත්, ඔවුන් කළ කී දෑ ජනතාවට අමතක වී නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.