ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන කැසිනෝ (Casino) සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයන්ට අදාළව නව බදු සංශෝධන කිහිපයක් අද (ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 2025 වසරේ අංක 25 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත මගින් මෙම සංශෝධනයන් සිදු කර ඇති අතර ඊට අනුකූලව මෙම නව බදු ප්‍රතිපත්තිය රට තුළ බලාත්මක වනු ඇත.
මෙම නව සංශෝධනයන්ට අනුව මෙතෙක් ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙස පැවති කැසිනෝ ශාලාවකට ඇතුළුවීමේ බද්ද (Casino Entrance Levy) ඇමෙරිකානු ඩොලර් 100ක් දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු යම් කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් අදාළ ව්‍යාපාරික ස්ථානය විසින් එම පුද්ගලයාගෙන් ඇමෙරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන විදේශ මුදලක් හෝ ඊට සරිලන වටිනාකමකින් යුතු ශ්‍රී ලංකා රුපියල්වලින් අදාළ ඇතුළුවීමේ ගාස්තුව අය කරගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
තවද ඔට්ටු ඇල්ලීම සහ සූදු ව්‍යාපාරවල නිරත වන ආයතන විසින් රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතයෙහි ද වෙනසක් සිදු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවති සියයට 15ක් වූ බදු අනුපාතය මේ වන විට සියයට 18 දක්වා ඉහළ දමා තිබේ. මාසිකව රුපියල් මිලියනයකට වඩා වැඩි දළ එකතු කිරීමක් (Gross Collection) සහිත ඔට්ටු ඇල්ලීමේ නියෝජිතයන්ට සහ සූදු ව්‍යාපාර සඳහා මෙම නව සියයට 18ක බදු අනුපාතය අදාළ වන බව බලධාරීන් සඳහන් කරයි.
මෙම නව බදු සංශෝධනයන් අද දින සිට බලාත්මක වන බැවින්, සියලුම කැසිනෝ හිමිකරුවන් සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරික ආයතන මෙම නව ක්‍රමවේදයට අනුකූලව කටයුතු කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.