jasinghe-requests-protection-due-to-death-threats-received-after-bellana-was-removed

සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන හමුවේ සිය ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දන්වා ඇත. වැඩ තහනමට ලක්ව සිටින සෞඛ්‍ය අංශ නිලධාරියෙකු විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු යොදා ගනිමින් මෙම තර්ජනය කිරීම් සිදු කරනු ලබන බව සෞඛ්‍ය ලේකම්වරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.




විශේෂයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද වෛද්‍ය ජාසිංහ මහතා පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවා ඇත. තමන්ට වෙඩි නොවදින රථයක් සූදානම් කරගන්නා ලෙස දන්වමින් අදාළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයා සිදුකර ඇති එම ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සිය ලිපිය මගින් විශේෂයෙන් සඳහන් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් වෛද්‍ය බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට පෙර සෞඛ්‍ය ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගේ මෙම මැදිහත් වීම ඉල්ලා ඇති බව වාර්තා වේ.

news-2025-12-31-192112