tsunami-warning-towers-inactive

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවකට අනුව, සුනාමි හා සුළි සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීම සඳහා 2009 වසරේ ඉදිකරන ලද සුනාමි කුළුණු 77ක් මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැත. මෙම කුළුණු අලුත්වැඩියා කිරීම සඳහා 2016 වසරේදී රුපියල් මිලියන 134.7ක ඇස්තමේන්තුගත මුදලකට පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර තිබුණද, 2024 වසර අවසන් වන විටත් කිසිදු කුළුණක් ක්‍රියාත්මක නොවන බව එම වාර්තාවෙන් හෙළි වේ.




මෙම අක්‍රිය තත්ත්වයට හේතුව ලෙස විගණන වාර්තාව පෙන්වා දෙන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙන්ම, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීම්ය. ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම නිසා මෙකී කුළුණු කිසිවක් අද වනතුරුත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව විගණන කාර්යාලය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික්ක 14ක් පුරා ස්ථාපිත කර තිබූ මෙම කුළුණු 77, සුනාමි හා සුළං තත්ත්වයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙස 2009 වසරේදී ඉදිකළ ඒවා බවය. කෙසේ වෙතත්, 2016 වසර වන විට ඒවායේ ක්‍රියාකාරිත්වය අවම මට්ටමක පැවතීම හේතුවෙන්, කුළුණු අලුත්වැඩියා කර නඩත්තු කිරීම සඳහා නව ගිවිසුමක් ඇති කරගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ.




මෙම තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් 2024 වසරට අදාළව නිකුත් කරන ලද විගණන වාර්තාවේ ඇතුළත් වේ.