වසර 30කට පමණ පසු සවුදි අරාබියේ කාන්තාර කඳුකර ප්‍රදේශයන් හිමෙන් වැසී යමින්, එම ප්‍රදේශය සීතල විශ්මලන්තයක් බවට පත් කළ දුර්ලභ කාලගුණික සිදුවීමක් වාර්තා වී තිබේ. සාමාන්‍යයෙන් දැඩි උෂ්ණත්වයක් සහ වියළි කාන්තාර දේශගුණයක් පවතින සවුදි අරාබියේ මෙම හදිසි වෙනස්වීම බොහෝ දෙනා මවිතයට පත් කර ඇති අතර,
මෙය එරට ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකේ. ටැබූක් (Tabuk) ප්‍රදේශයේ කඳුකරය සහ කාන්තාර බිම් මෙලෙස සුදු පැහැති හිම ස්ථරයකින් වැසී ගොස් ඇත්තේ දශක තුනකට පසුව වීම විශේෂත්වයකි.උතුරු සවුදි අරාබිය හරහා හමා ගිය අධික සීතල වායු ධාරාවක් හේතුවෙන් මෙම කාලගුණික විපර්යාසය සිදුව ඇති අතර, එමගින් අධික වැසි, තද සුළං සහ වාර්තාගත අඩු උෂ්ණත්වයක් එම ප්‍රදේශයට ලැබී තිබේ. විශේෂයෙන් ජබල් අල් ලව්ස් (Jabal Al Lawz) සහ ට්‍රෝජෙනා (Trojena) කඳුකර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක -4 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2,600ක් පමණ උසින් පිහිටි මෙම ප්‍රදේශවලට පතිත වූ හිම හේතුවෙන් කාන්තාරයේ රළු පර්වත සහ වැලි තලාවන් හිමෙන් වැසී ගිය අපූරු දසුනක් නිර්මාණය වී ඇත.
මෙම දුර්ලභ දසුන දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද විශාල වශයෙන් එම ප්‍රදේශවලට එක්රොක් වී සිටින අයුරු දැකගත හැකිය. කාන්තාරයේ හිම මත ලිස්සා යාම (Skiing), හිම ක්‍රීඩාවල නිරත වීම සහ ඡායාරූප ගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවක් දක්වන අතර, අඳුරු වලාකුළු යට හිමෙන් වැසී ගිය කාන්තාරයේ ඔටුවන් සැරිසරන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. නියෝම් (NEOM) ව්‍යාපෘතියට අයත් ට්‍රෝජෙනා කඳුකරය ද මෙලෙස හිමෙන් වැසී යාම සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම හිම පතනයට සමගාමීව සවුදි අරාබියේ තවත් ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණ තත්ත්වයන් බලපා ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙයි. මක්කම, මදීනා, ජසාන් සහ අසීර් වැනි ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි අතර, රියාද් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මීදුම සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. රතු මුහුදේ සහ අරාබි බොක්ක ප්‍රදේශයේ මුහුදු රළ මට්ටම ඉහළ යා හැකි බැවින් වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම හදිසි කාලගුණික විපර්යාසය සවුදි අරාබියේ දේශගුණික ඉතිහාසයේ අමතක නොවන මතකයක් බවට පත්ව ඇත.
ඡායාරූප එකතුව මෙතැනින් cilck here

