පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරීමට තමාට අවශ්‍ය සුදුසුකම් ඇති බවත්, අවසන් තීරණය පක්ෂයේ විධායක සභාව සතු විය යුතු බවත්ය. ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ නායකයා ලෙස ජනතාව වඩාත් කැමති පුද්ගලයකු පත් කරගත යුතු බවටද අදහස් දක්වමිනි.
සිය දේශපාලන ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරම්භ කළ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස තමාට මෙම නායකත්වයට සුදුසුකම් ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.පක්ෂ නායකයා පත් කර ගැනීමේදී උද්යෝගයකින් තොරව, බිම්මට්ටමේ සිට පක්ෂය නැවත ගොඩනැඟිය හැකි පුද්ගලයකු නායකත්වයට පත්වීම වැදගත් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සිය මව පක්ෂ නායිකාව ලෙස සිටියදී සියලු දෙනාගේ විරෝධය එල්ල වුවද, වසර 17ක් පුරා බිඳවැටී තිබූ පක්ෂය බිම්මට්ටමින් ගොඩනැඟීමේ කටයුත්ත එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ආරම්භ කළ බව සිහිපත් කළ ඒ මහතා, 2019 වසරින් පසු නිදහස් පක්ෂය පරිහානියට ලක්වීමට පටන් ගත් බැවින් එය නැවත ගොඩනැඟිය යුතු බවටද අවධාරණය කළේය.
පක්ෂයක් යනු හුදෙක් පක්ෂ කාර්යාලයක්, එහි නාම පුවරුවක් හෝ විධායක සභාවක් පමණක් නොවන බව දයාසිරි මහතා මෙහිදී අවධාරණය කළේය. රටට සැබෑ නායකත්වයක් ලබා දිය හැකි පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවද ඔහු කියා සිටියේය. "තමන් ජ්‍යෙෂ්ඨයි" යන හැඟීමෙන් පමණක් සැමදා එක තැන රැඳී සිටිය නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා, "දහසක් මල් පිපේවා, දහසක් වැසි වසීවා" යන කොන්ෆියුසියස්තුමාගේ කියමන සිහිපත් කරමින්, නව අදහස් හා නව රුධිරය (New blood) පක්ෂයට පැමිණීමේ වැදගත්කම අවධාරණය කළේය. "මම එම කැපකිරීම් කිරීමට සූදානම්. ජනතාව තමන්ව පිළිගන්නේ නැතැයි වැටහෙන දවසට ඉවත්ව යාමට තමා දැන සිටිය යුතුයි. බලහත්කාරයෙන් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමෙන් සිදුවන්නේ පක්ෂය ජනතාවගෙන් ඈත්වීමයි. එබැවින් 'සබ්බං පහාය ගමනියං' යන ධර්ම වාක්‍යයට අනුව, තමන්ට යා යුතු කාලය පැමිණි විට ඒ සඳහා සූදානම් විය යුතුයි," ඔහු වැඩිදුරටත් පැවසීය.