මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ, මේ දක්වා මෙරටට පැමිණෙන විදේශිකයන්ට පමණක් සීමා වී තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට ද තම රටවලින් නිකුත් කරන ලද රියැදුරු බලපත්‍ර මත පදනම්ව ලබාදීමට තීරණය කර ඇති බවය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම තාවකාලික රියැදුරු බලපත්‍ර විදේශිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්ට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සහ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකි බවයි.
පසුගිය නොවැම්බර් මස 17 වැනි දින නිකුත් කරන ලද 2463/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ක්‍රමවේදය පුළුල් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය. විදෙස් රටවලින් නිකුත් කර ඇති රියැදුරු බලපත්‍රයට අදාළව, නියමිත අයභාරයක් ගෙවීමෙන් අනතුරුව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට ද තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට මෙසේ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විදේශීය සංචාරකයන්ට පමණක් සීමා වූ, ඔවුන්ගේ රටවල්වලින් නිකුත් කළ රියැදුරු බලපත්‍රයට අනුව මෙරට තාවකාලික රිය බලපත්‍ර නිකුත් කිරීමේ මුල් ක්‍රමවේදය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කාර්යාලයක් ස්ථාපිත කරමින් පසුගිය අගෝස්තු මස 03 වැනිදා ආරම්භ කරන ලදී.