the-incident-was-hushed-up-after-a-sergeant-died-after-being-hit-by-a-herd-of-buffalo

කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මෙනවිය, අපරාධයක් වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් තිදෙනෙකු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.




මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය පරිදි, හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තිදෙනා ලබන වසරේ ජනවාරි මස පළමු වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මෙම සිද්ධියට හේතු වූයේ, කැබිතිගොල්ලෑව – හොරොව්පොතාන A29 ප්‍රධාන මාර්ගයේ දී සැකකරුවන් දක්කාගෙන යමින් සිටි මී ගව රංචුවක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ගැටී අනතුරට පත්වීමයි. අනතුරින් සිහිසුන් වූ සැරයන්වරයා සහ ඔහුගේ යතුරුපැදිය මීටර් දහයක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් අසලට ඇදගෙන ගොස්, ඔහු බෝක්කුවක ගැටී මරණයට පත්වූ බවට පෙන්වා අපරාධය වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මොවුන්ට එල්ල වී තිබේ.

මෙම චේතනාන්විත සහ සැලසුම් සහගත අපරාධය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ සේවය කළ 41 හැවිරිදි තිදරු පියෙකු වූ පොලිස් සැරයන්වරයෙකි.




පැමිණිල්ල මෙහෙයවීම සඳහා, කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චමිල රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (53290) ප්‍රසන්න රංජිත් දිසානායක මහතා පෙනී සිටියේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නලීන් සංජීව කුමාර සහ නීතිඥ පියුමි හංසමාලි මහත්ම මහත්මීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.