six-families-evacuated-from-maladola-due-to-rockfall

බදුල්ල හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් පවුල් හයකට අයත් පුද්ගලයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ගම්මානයට ඉහළින් පිහිටි කඳු මුදුනේ සිට විශාල ගල් පර්වතයක් පහළට පෙරළී ඒමත් සමඟ මෙම අනාරක්ෂිත තත්ත්වය මතු වී ඇති බව පොලිසිය පවසයි.




හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල ඉඳුනිල් රත්නායක මහතා සඳහන් කළේ, කන්දෙන් ගැලවී ආ විශාල ගල් පර්වත කොටස් කිහිපයකට වෙන්වී අතරමග රැඳී ඇති බවත්, පවතින වර්ෂාව තවදුරටත් වර්ධනය වුවහොත් එම ගල් කුට්ටි ජනාවාස දෙසට පෙරළී යෑමේ දැඩි අවදානමක් පවතින බව මූලික විමර්ශනවලදී නිරීක්ෂණය වූ බවයි. මේ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන තෙක් අදාළ වැසියන්ට සිය නිවාසවලින් ඉවත්ව ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.




තවද බදුල්ල, ගලඋඩ - කන්දකැටිය මාර්ගයේ කිලෝමීටර් 19 සහ 20 කණු අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විශාල ලෙස ඉරිතැලීම් සහ ගිලා බැසීම් දක්නට ලැබෙන බැවින් නායයෑමේ මූලික ලක්ෂණ මතුව ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වන විටත් එම ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකිරීමේ සුදුසු අසුදුසුභාවය තීරණය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද බලධාරීන් සඳහන් කර සිටී.

news-2025-12-20-123743

news-2025-12-20-123743

news-2025-12-20-123743