latest-vegetable-prices

 2025 දෙසැම්බර් මස 19 සහ 20 යන දිනවල දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ. කැබිතිගොල්ලෑව, නුවරඑළිය, දඹුල්ල, වැලිසර සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් නිකුත් වූ මෙම දත්ත අනුව වෙළෙඳපොළේ එළවළු මිල ගණන්වල යම් විචලනයක් දක්නට ලැබේ.



කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ දෙසැම්බර් 19 වන දින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400ත් 500ත් අතර අගයක පැවති අතර කැරට් මිල රුපියල් 200ත් 250ත් අතර සටහන් විය.


ගෝවා කිලෝවක් රුපියල් 200 සිට 250 දක්වාත්, තක්කාලි රුපියල් 450 සිට 500 දක්වාත් අලෙවි වූ අතර අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ත් 1200ත් අතර ඉහළ අගයක පැවතුණි. නුවරඑළිය අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට අලෙවි වූ අතර ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 200ක පමණ මිලකට අලෙවි වූ බව වාර්තා වේ.

එදිනම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද මීට සමාන්තර අගයන් ගත් අතර එහි ගෝවා කිලෝවක් රුපියල් 220ත් 300ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකටත් අලෙවි විය. යාපනයේ කැරට් කිලෝවක් රුපියල් 170ත් 200ත් අතර මිලකට අලෙවි වූ අතර නුවරඑළිය කැරට් ද එම මිල පරාසයේම පැවතුණි. දඹුල්ලේ අමු මිරිස් මිල ද රුපියල් 1000 ඉක්මවා ගිය අතර දෙහි කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි විය.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දෙසැම්බර් 19 වන දින පැවති මිල ගණන් අනුව ගොවීන්ගෙන් ගැනුම් මිල සහ තොග මිල අතර වෙනසක් දක්නට ලැබුණි. එහි ගෝවා ගැනුම් මිල රුපියල් 250ක් වූ අතර තොග මිල රුපියල් 280ක් විය. කැරට් ගැනුම් මිල රුපියල් 200ක් හා තොග මිල රුපියල් 230ක් ලෙස සටහන් වූ අතර ලීක්ස් සඳහා රුපියල් 220ක ගැනුම් මිලක් සහ රුපියල් 250ක තොග මිලක් නියම වී තිබුණි.


අර්තාපල් මිල ගණන් සලකා බැලීමේදී රතු අර්තාපල් තොග මිල රුපියල් 300ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

පාරිභෝගිකයින්ට සෘජුව බලපාන සිල්ලර මිල ගණන් ද ඇතුළත් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ දත්ත අනුව සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 240ක් ලෙසත් නාඩු සහල් කිලෝවක් රුපියල් 230ක් ලෙසත් සටහන් විය. පොල් ගෙඩියක තොග මිල රුපියල් 165ක් වූ අතර සිල්ලර මිල රුපියල් 170ක් විය. කුකුළු මස් (සම සහිත) කිලෝවක් රුපියල් 1390ක සිල්ලර මිලකට අලෙවි වූ අතර බිත්තරයක් රුපියල් 42ක සිල්ලර මිලකට අලෙවි විය. වැලිසර එළවළු මිල ගණන් දෙස බැලීමේදී බෝංචි සිල්ලර මිල රුපියල් 600ක් දක්වාත්, කැරට් සිල්ලර මිල රුපියල් 320ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

දෙසැම්බර් 20 වන දින තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිකුත් වූ මිල ගණන් අනුව බෝංචි තොග මිල රුපියල් 500ත් 650ත් අතර ඉහළ පරාසයක සටහන් වී තිබේ. කැරට් කිලෝවක් රුපියල් 250ත් 270ත් අතර මිලකටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 90ත් 100ත් අතර මිලකටත් අලෙවි විය. අමු මිරිස් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිමින් පුත්තලම ප්‍රභේදයේ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර පැවති අතර දෙහි කිලෝවක් රුපියල් 240ත් 250ත් අතර මිලකට අලෙවි වූ බව වාර්තා වේ.