ගංජා ජාවාරම හරහා උපයාගත් අතිවිශාල මුදල් සම්භාරයක් යොදවා 'බතල හීන් මහත්තයා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා විසින් සිය බිරිඳගේ නමින් මිලදී ගෙන තිබූ බව කියන රුපියල් කෝටි දහනවයකට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින හතක කාලයක් සඳහා මෙම දේපළ තහනම පනවා ඇති අතර එම කාලය අවසන් වූ පසු තහනම තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.මෙම ජාවාරම්කරු විසින් ගංජා විකිණීමෙන් උපයා ගත් මුදලින් ඇඹිලිපිටිය රෝහල ආසන්නයේ පෞද්ගලික ඔසුසලක් සහ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසල හෝටලයක් ද බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව මිද්දෙණිය මාර්ගයේ පිහිටි කඩ කාමර හයකින් යුත් ගොඩනැගිල්ලක්, එම මාර්ගයේම පිහිටි තවත් වෙළෙඳ සංකීර්ණයක් සහ තවත් කඩ කාමරයක් සහිත ගොඩනැගිල්ලක් ද තහනම් කළ දේපළ අතරට අයත් වන අතර මෙම දේපළවල වටිනාකම පමණක් රුපියල් මිලියන 130ක් බව පොලිසිය පවසයි.
තවද ඇඹිලිපිටිය කීරවැල්ල කොටුව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහ පනාමුර මාර්ගයේ පිහිටි පූජා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලක් ද මොහු විසින් ජාවාරම් මුදලින් මිලදී ගෙන ඇති බවට හඳුනාගෙන ඇති අතර එම දේපළ ද මෙම තහනමට ඇතුළත් කර තිබේ. මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන යටතේ තහනම් කරන ලද මෙම අමතර දේපළවල වටිනාකම රුපියල් මිලියන පනහක් පමණ වන බව විමර්ශන අංශ පෙන්වා දෙයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති කවිත්‍ර දයාරත්න සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. වික්‍රමසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. සහකාර පොලිස් අධිකාරී අමිල ජයරත්න මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval