after-the-disaster-dengue-followed

 පවතින ආපදා තත්ත්වයන් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ඊළඟට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝගය ඩෙංගු වසංගතය බවත්, ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග මෙම අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කරයි.

මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඒකාබද්ධව 'සරල කළ පූර්ව ක්‍රියාකාරී කෙටුම්පත' (Simplified Early Action Protocol) නමින් විශේෂ වැඩපිළිවෙළක් ඊයේ (11) දින සිට ක්‍රියාවට නැංවූ අතර කොළඹ රතු කුරුස සමාජ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.




ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පවතින කොළඹ, ගම්පහ, කළුතර, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක පහ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන මූලිකව ක්‍රියාත්මක කිරීමට නියමිතය. රතු කුරුස සමාජයේ ස්වේච්ඡා සේවකයන් සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව මෙම දිස්ත්‍රික්කවල පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම, ගුරුවරුන් සහ දරුවන් දැනුවත් කිරීම මෙන්ම ජනතාව බහුලව ගැවසෙන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු ද මේ යටතේ සිදු කිරීමට සැළසුම් කර තිබේ.

මේ අතර ගතවූ සතිය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 263 දෙනෙකු වාර්තා වී ඇති බව දත්ත මගින් තහවුරු වී තිබේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 146ක්, රත්නපුරෙන් 68ක්, කළුතරින් 57ක්, යාපනයෙන් 36ක්, කුරුණෑගලින් 26ක් සහ කෑගල්ලෙන් 20ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති බව පෙන්වා දුන් වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වසංගතය පැතිරීම පාලනයට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.




ලොව පුරා රටවල් 193ක ක්‍රියාත්මක රතු කුරුස සමාජ ජාලය අතුරින් ඩෙංගු මර්දනය වෙනුවෙන් මෙවැනි පූර්ව ක්‍රියාකාරී විධිවිධාන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලොව පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේය. වසර දෙකක කාලසීමාවක් පුරා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.