news-2025-12-21-171911

භාවිතයෙන් ඉවත් කෙරුණු ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයකදී වහාම පරීක්ෂා කරන ලෙස එම එන්නත නිෂ්පාදනය කළ මාන් ඖෂධ සමාගම ලිඛිතව දැනුම් දී ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.





මෙම පරීක්ෂණ සඳහා වැයවන සියලු වියදම් දැරීමට සිය සමාගම සූදානම් බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව සභාපතිවරයා පැවසීය.




මේ අතර, භාවිතයෙන් ඉවත් කරගත් ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ නිසි ප්‍රමිතියට අනුව ගබඩා කර තබන ලෙස මාන් ඖෂධ සමාගම ඉල්ලා තිබුණද, රෝහල්වලින් ඉවත් කෙරෙන ඕනෑම ඖෂධ කාණ්ඩයක් එලෙස ප්‍රමිතියට අනුව ගබඩා කිරීම සාමාන්‍ය ක්‍රියාදාමයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නොවන බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ අයි.ඩී.එච්. රෝහලේදී මෙම එන්නත ලබාගත් රෝගීන් දෙදෙනකු මියයාම පිළිබඳව විශේෂඥ කමිටුවක් මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. එමගින්, එන්නත සහ රෝගීන්ගේ මරණ අතර සෘජු සම්බන්ධයක් තිබේද යන්න සොයා බැලෙනු ඇතැයි ඔහු පැවසීය.



මාන් ඖෂධ සමාගමට මෙරට පූර්ණ ලියාපදිංචිය හිමිව ඇත්තේ 2022 වසරේ බව වෛද්‍ය විජේවික්‍රම මහතා මෙහිදී අනාවරණය කළේය. ඔන්ඩැන්සෙට්‍රෝන් සඳහා වූ එක් ඇණවුමක් 2022 වසරේදී ලබා දී ඇති අතර, එම තොගය මෙරටට ලැබී ඇත්තේ 2024 වසරේදීය. තවත් ඇණවුමක් 2023 වසරේදී සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.