sirimavo-summons-principal-for-information-regarding-students-award-issue

 සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය කර ඇති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ රාත්‍රියේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති අතර,

එම වාර්තාව ලැබීමෙන් පසු සිදුවීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සහ උපදෙස් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර ඇත.




පසුගිය දෙසැම්බර් 19 වන දින පැවති වර්ණ ප්‍රදානෝත්සවයේදී විදුහල්පතිනිය තමාට අසාධාරණයක් කළ බවට චෝදනා කරමින් සිසුවියක් ප්‍රසිද්ධියේ අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටියද, වර්ණ ප්‍රදානෝත්සවයේ පෙරහුරුවලට සහභාගී නොවීම යන කාරණය මත තමාට ක්‍රීඩා සම්මානයක් අහිමි කළ බවට අදාළ ශිෂ්‍යාව එහිදී චෝදනා කළ අතර, මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ ඒ පිළිබඳව පුළුල් මහජන විවාදයක් සහ මිශ්‍ර ප්‍රතිචාර ඇති වී තිබේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ, මෙම සිද්ධියට සම්බන්ධ ස්කොෂ් සහ පිහිනුම් යන ක්‍රීඩාවල නියුතු සිසුවියන් දෙදෙනාම පාසලට කීර්තියක් සහ පිළිගැනීමක් ගෙන දී ඇති අය බව තමන් පිළිගන්නා බවයි. එබැවින් සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මගින් මේ පිළිබඳව මැදිහත් වී, සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංගමය පාසල් පරිපාලනයෙන් ඉල්ලා සිටියි.

එම විමර්ශනය අවසන් වූ පසු වාර්තාවක් නිකුත් කිරීමට නියමිත බව පවසන ආදි ශිෂ්‍ය සංගමය, එතෙක් අදාළ සිසුවියන්ට අහිතකර ලෙස බලපාන හෝ පාසලේ කීර්තිනාමයට හානි විය හැකි ආකාරයේ ප්‍රකාශ සහ සටහන් බෙදා හැරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.




gossiplanka image 1