indian-couple-who-had-come-to-sri-lanka-for-honeymoon-after-a-previous-love-affair-commit-suicide

ඉන්දියාවේ බෙංගලූරුවේ පවුලක් ආශ්‍රිතව වාර්තා වූ ඛේදජනක ද්විත්ව සියදිවි නසාගැනීමක් මුළු ඉන්දියාවම කම්පනයට පත් කර තිබේ. ගනවි සහ සුරාජ් ශිවන්නා නමැති මෙම යුවළ විවාහ වී මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එහිදී ගනවිගේ විවාහයට පෙර පැවති මිත්‍රත්වයක් මුල් කරගෙන ඔවුන් අතර බහින්බස්වීමක් සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කර ඇත.

මෙම ආරවුලෙන් පසු නැවත ඉන්දියාවට පැමිණි ගනවි සියදිවි නසාගෙන ඇති අතර, ඇයගේ මරණයත් සමඟ ඇයගේ සැමියාගේ පවුලේ අයට දෑවැදි හිරිහැර කිරීමේ චෝදනා එල්ල වී තිබේ. මේ අතර සිය බිරිඳගේ මරණයෙන් දැඩි කම්පනයට පත් සුරාජ්, ගනවිගේ පවුලේ අයගෙන් එල්ල වූ මරණ තර්ජන හමුවේ බියට පත්ව සිය පවුල සමඟ බෙංගලූරුවෙන් පලා ගොස් ඇති අතර පසුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ හෝටල් කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබේ.




සුරාජ් සහ ගනවි පසුගිය ඔක්තෝබර් 29 වන දින බෙංගලූරුවේදී උත්සවාකාරයෙන් විවාහ වී ඇති අතර, එය යෝජිත විවාහයක් බව වාර්තා වේ. විවාහයෙන් පසු මෙම යුවළ දින 10ක මධුසමය චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතත්, ගනවිගේ පෙර සබඳතාවක් පිළිබඳව ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔවුන්ගේ සංචාරය අතරමග නතර කර දින පහකට පසු නැවත බෙංගලූරු බලා යාමට සිදුව තිබේ. ගනවි මෙම විවාහය දිගටම පවත්වාගෙන යාමට අකමැති බව සුරාජ්ට පවසා ඇති බවත්, මීට පෙරද ගනවි මෙම විවාහයට අකමැත්ත පළ කර ඇති නමුත් ඇයගේ නැන්දාගේ බලකිරීම මත විවාහයට එකඟ වී ඇති බවත් පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත. බෙංගලූරුවේ විජයනගර් හි අන්තර්ජාල බෙදාහැරීමේ සේවාවක හිමිකරුවෙකු වන සුරාජ් සහ ව්‍යාපාර පරිපාලන උපාධිධාරිනියක (MBA) වන ගනවි අතර ඇති වූ මෙම ගැටලුව විසඳීමට පවුලේ සාමාජිකයන් ගත් උත්සාහයන්ද අසාර්ථක වී තිබේ.

ගැටලුව සමතයකට පත් කිරීමට සුරාජ්ගේ වැඩිමහල් සොහොයුරා වන සංජය ශිවන්නා මැදිහත් වුවද යුවළ ඊට ඇහුම්කන් දී නැති අතර, එදින රාත්‍රියේම ගනවි සිය පියාගේ නිවසට ගොස් පැය කිහිපයකට පසු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ. ඇයව කඩිනමින් රෝහල් ගත කළද ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර, ඇයගේ පවුලේ අය සුරාජ් සහ ඔහුගේ ඥාතීන් දෑවැදි ඉල්ලා හිරිහැර කළ බවට චෝදනා කරමින් බෙංගලූරු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත. ගනවිගේ මරණයෙන් පසු දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර, 30ක පමණ පිරිසක් සුරාජ් සොයා විජයනගර් හි පිහිටි ඔවුන්ගේ නිවසට කඩා වැදීමත් සමඟ සුරාජ්ගේ පවුලේ අය දැඩි ලෙස බියට පත්ව බෙංගලූරුවෙන් පලා යාමට තීරණය කර තිබේ. දෑවැදි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන සංජය පවසන්නේ තමන් කිසිදු ඉල්ලීමක් නොකළ බවත් විවාහයේ සියලු වියදම් තමන් දැරූ බවත්ය.




දෙසැම්බර් 23 වන දින සුරාජ්, ඔහුගේ මව ජයන්ති සහ සොහොයුරා හයිද්‍රාබාද් වෙත ගොස් ඇති අතර පසුදින නාග්පූර් බලා ගමන් කර එහි හෝටලයක කාමර දෙකක් වෙන් කරගෙන නවාතැන් ගෙන තිබේ. නාග්පූර්හි හෝටලයේදී මධ්‍යම රාත්‍රියෙන් පසු සුරාජ් සිවිලිමේ විදුලි පංකාවේ දුපට්ටාවකින් ගෙල වැලලාගෙන ඇති අතර, අලුයම 12.30ට පමණ ඔහුගේ මව ඔහුව දැක සියදිවි නසා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇත. ඇය හෝටල් කාර්ය මණ්ඩලය සහ සංජය දැනුවත් කිරීමෙන් පසු සුරාජ්ව රෝහල් ගත කර ඇතත් වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. පුතුගේ මරණයෙන් කම්පනයට පත් 60 හැවිරිදි මව ද සියදිවි නසා ගැනීමට තැත් කළ නමුත් ඇයව බේරාගෙන රෝහල් ගත කර ඇති අතර ඇය දැනට අන්තරායකර තත්ත්වයෙන් මිදී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක නිතින් මගර් ප්‍රකාශ කර ඇත. නාග්පූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර බෙංගලූරු පොලිසිය සමඟ එක්ව කටයුතු කරයි.

news-2025-12-30-052712

news-2025-12-30-052712

news-2025-12-30-052712