මුදල් ඔට්ටු අල්ලමින් යතුරුපැදි ධාවන තරගවල නිරත වූ තරුණයන් හත් දෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශවල පදිංචි 18, 19, 20, 21, 22 යන වයස්වල පසුවන තරුණයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
රාත්‍රී කාලයේ පැරණි ගාලු පාර ඔස්සේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද විසුරුවා හරිමින් යතුරුපැදි ධාවන තරග පවත්වන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ. ඒ අනුව, පානදුර පැරණි ගාලු පාරේ ජුබිලි හන්දිය සහ අවට ප්‍රදේශවල මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමකදී යතුරුපැදි හතරක් (4) සමඟ තරුණයන් හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් යතුරුපැදිවල සයිලන්සර් කපා හැඩය වෙනස් කර තිබූ අතර, ධාවන තරගවලදී හඳුනාගැනීම සඳහා ඒවාට අංක ද යොදා තිබූ බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.