news-2025-12-30-055132

2026 නව වසර උදාව සැමරීම වෙනුවෙන් කොළඹ නගරය සහ ගාලු මුවදොර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් මස 31 වන දින නව වසර උදාව සැමරීම සඳහා පිට පළාත්වලින් පැමිණෙන විශාල ජනකායක් සහ වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට, විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කිරීම සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙම උත්සව සමය හේතුවෙන් විශේෂයෙන් කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන පොලිස් වසම් තුළ අධික රථවාහන තදබදයක් අපේක්ෂා කෙරේ.




කෙසේ වෙතත්, දෙසැම්බර් 31 වන දින මෙම පොලිස් වසම් තුළ සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනයට ඉඩ දෙනු ලබන අතර, අධික තදබදයක් ඇති වුවහොත් පමණක් අවස්ථානුකූලව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම විශේෂ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිටවන වාහන එන්.එස්.ඒ. වටරවුමෙන් ගාලු මැද පාරට පිවිස, බාලදක්ෂ මාවත හන්දියෙන් (එම්.ඕ.ඩී හන්දිය) වමට හරවා බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම සහ මාකන් මාකර් මාවත ඔස්සේ ගාලු මුවදොර වටරවුම වෙත පැමිණ කොල්ලුපිටිය දෙසට ගමන් කළ යුතුය. ගාලු මුවදොර වටරවුමේ සිට ගාලු මැද පාර ඔස්සේ කොළඹට ඇතුළු වන රථවාහනවලට බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව ලබා දේ. නමුත් ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුමේ සිට බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කිරීමට අවසර නොලැබෙන අතර, බාලදක්ෂ මාවතේ අතුරු මාර්ගවලින් පැමිණෙන වාහන දකුණට හරවා අලියා නාන වටරවුමෙන් පිටවිය යුතු බවත්, ගාලු මැද පාරට අතුරු මාර්ගවලින් ඇතුළු වන වාහන දකුණට හරවා එන්.එස්.ඒ. වටරවුම දෙසට ගමන් කළ යුතු බවත් පොලිසිය දන්වා සිටියි.

මෙම කාලසීමාව තුළ කොළඹ නගරයේ පදික වේදිකා මත හෝ ප්‍රධාන මාර්ග අවහිර වන ලෙස රථවාහන නැවැත්වීම සපුරා තහනම් කර ඇති අතර, එසේ නීති උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම රථවාහන සහ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති අතර, කොළඹට පැමිණෙන වාහන 5900 ක් පමණ ගාල් කිරීම සඳහා රථගාල් පහසුකම් සලසා ඇත.




වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකරන නිදහස් ස්ථාන ලෙස කොටුව බාලදක්ෂ මාවතේ එම්.ඕ.ඩී රථගාල, කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා මුහුදුබඩ මාර්ගය, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොම්පඤ්ඤ වීදිය පාසන්ස් පාරේ පිටවීමේ තීරුව සහ ගාලු පාරේ වැල්ලවත්ත සැවෝයි සිට බගතලේ පාර හන්දිය දක්වා රථ වාහන නැවතුම් ස්ථාන (Parking Bays) නම් කර ඇත. මීට අමතරව කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ වම්පස තීරුව, එෆ්.ආර්. සේනානායක මාවත, රීඩ් මාවතේ රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් තර්ස්ටන් හන්දිය දක්වා දකුණු පස, නිදහස් මාවතේ නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා දකුණු පස, මෙට්ලන්ඩ් පෙදෙස සහ පදනම් ආයතනය පාර යන ස්ථානවලද බාධාවකින් තොරව වාහන ගාල් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මුදල් අයකිරීමේ පදනම මත රථවාහන ගාල් කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල, කොටුව විමලධර්ම ඔරලෝසු කණුව අසල රථගාල, රාසික් ෆරීඩ් මාවතේ හේමාස් රථගාල, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක් හවුස් රථගාල, කොටුව ලේඩ්න් බැස්ටියන් මාවත, බ්‍රිස්ටල් වීදිය සහ ඩියුක් වීදිය යන ස්ථාන වෙන්කර ඇත. එමෙන්ම කොම්පඤ්ඤ වීදිය යූනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දියේ ඇක්සස් ටවර් රථගාල සහ මරදාන ගාමිණි වටරවුමේ ශාන්ත ක්ලෙමන්ට් (St. Clement) රථගාලද මුදල් ගෙවා වාහන ගාල් කිරීම සඳහා භාවිතා කළ හැකි බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

news-2025-12-30-055132

news-2025-12-30-055132

news-2025-12-30-055132

news-2025-12-30-055132