india-funds-sri-lanka-cyclone

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කර සිටින්නේ, "දිට්වා" සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක මුදලක් ලබා දීමට ඉන්දියාව සූදානම් බවයි.

මෙම ආධාර පැකේජයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය මාර්ග සහ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් වන බව මෙරට සංචාරයක නිරත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද දින උදෑසන පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවට "දිට්වා" සුළි කුණාටුවෙන් සිදුවූ හානිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ලිපිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ජයශංකර් මහතා, "ඉන්දියාව පළමු ප්‍රතිචාරකයාගේ කාර්යභාරය ඉටුකරමින්, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් කැපකර ඇතැයි" සඳහන් කළේය. තවදුරටත් අදහස් දක්වමින්, "මෙම කැපවීම කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අපගේ සාකච්ඡා කේන්ද්‍රගත වූ බවද" අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස, මෙවන් අර්බුදකාරී අවස්ථාවක (ආර්ථික අර්බුදයේදී මෙන්) ඉන්දියාව ඉදිරිපත් වීම ස්වාභාවික බව අමාත්‍ය ජයශංකර් මහතා අවධාරණය කළේය. මෙම ප්‍රකාශය කොළඹදී විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සිදුකරන ලදී.