මාතර කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු පසුගියදා (20) විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි. වැඩ නිමවා ග්‍රයින්ඩරයක් ස්විචයෙන් විසන්ධි නොකර වයරය අතින් ඔතමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ ඇලුමිනියම් ශිල්පීය පාඨමාලාවක් හදාරමින් සිටි යසිරු රශේන් (17) නැමැති සිසුවෙකි. සිද්ධිය වන අවස්ථාවේදී ඔහු සිය පියාගේ වැඩකට අක්උදවු දීම සඳහා ගොස් සිට ඇත.
සිද්ධියට හේතුව ලෙස, අදාළ ග්‍රයින්ඩරයේ වයරයේ පැවති දෝෂයකින් විදුලි සැර වැදී ඇති බවට පොලිසිය සැක පළ කරයි. මියගිය සිසුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති අතර, ඉන් අනතුරුව කාර්මික විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීමට යොමුවී තිබේ. ඔහු සති අන්ත නිවාඩු දිනවලදී සිය පියා සමඟ වැඩට යන බවද වාර්තා වේ.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.