news-2025-12-23-065406

ඊයේ (22) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද සහභාගී විය.




2024 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල සිසුවියන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම පුළුල් කිරීමේ වැඩපිළිවෙල සඳහා රජය රුපියල් බිලියන 1.44ක මුදලක් වෙන් කර ඇත. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා එක් සිසුවියකට වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් ප්‍රදානය කිරීමටත්, එම තිළිණපත් පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත බෙදා හැරීමටත් කටයුතු යොදා තිබේ.




සනීපාරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන විසින් පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගැනේ.

මීට අමතරව, අග්‍රාමාත්‍යවරිය විසින් කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. සිසුවියන්ට තම අභිමතය පරිදි සහ අවශ්‍යතාව පරිදි සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සැලසීම, ප්‍රදේශයන්හි භූගෝලීය විෂමතාවන්ට අනුව වවුචර්පත් හා සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ක්‍රමවේද සකස් කිරීම, මෙන්ම භාවිතයෙන් පසු පරිසර හිතකාමී ලෙස සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම ද ඒ අතර විය. ව්‍යාපෘතියේ ඵලදායීතාවය සහ ප්‍රතිලාභීන්ගේ පහසුව පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරමින් මෙම පියවර ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.



අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු තවත් නිලධාරීන් රැසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.