pinnawala-elephants-bathing-resumes

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔය වෙත රැගෙන ගොස් දිය නාවන කටයුතු යළි ආරම්භ කර ඇති බවයි.





අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මා ඔයෙහි ජලය බොර වී තිබූ අතර, වැලි සහ රොන් මඩ තට්ටු ගලා ඒමෙන් අලි ඇතුන් දිය නාවන ප්‍රදේශය යටවී පැවති බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. තවද, මෙම වැලි තට්ටු අතර අලි ඇතුන්ට අනතුරුදායක විය හැකි වීදුරු කැබලි හා යකඩ කොටස් රැඳී තිබීමද නිරීක්ෂණය විය.




අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැලකිල්ලට ගනිමින් පින්නවල අලි අනාථාගාරය විසින් මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම තාවකාලිකව සීමා කිරීමට පියවර ගත් බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැහැදිලි කළේය.

පසුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, එක්ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් මා ඔයෙහි අලි නාවන ස්ථානයේ රැඳී තිබූ වැලි සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් තහවුරු කරයි.



මේ අනුව, අලි ඇතුන් සුපුරුදු පරිදි මා ඔය වෙත රැගෙන ගොස් දිය නාවන කටයුතු පසුගිය 24 වැනිදා සිට යළි ආරම්භ වූ බව එම දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.