street-vendors-banned-in-kandy-from-january-1st

මහනුවර නගර සභා බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන පදික වෙළෙඳාම 2024 ජනවාරි මස පළමුවැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහනුවර නගර සභාව තීරණය කර තිබේ. දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන මහනුවර නගරයේ අලංකාරය ආරක්ෂා කර ගැනීම සහ රථවාහන තදබදය අවම කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණු බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පෙන්වා දුන්නේය.




මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නගරාධිපතිවරයා පැවසුවේ, මාස හයකට පමණ පෙර අදාළ යෝජනාව නගර සභාව මගින් සම්මත වුවද, පදික වෙළෙඳුන් මුහුණ දෙන අපහසුතා සලකා බලා එය වහාම ක්‍රියාත්මක නොකළ බවයි. වෙළෙඳුන් සතු භාණ්ඩ තොග විකුණා අවසන් කර ගැනීම සඳහා ඔවුන් කාලය ඉල්ලා සිටි බැවින්, දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස පහකට අධික සහන කාලයක් ලබා දීමට පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය.

වසර ගණනාවකට පෙර පදික වෙළෙඳුන් වෙත විකල්ප ස්ථාන පිරිනැමූවද, ඔවුන් එම ස්ථාන අතහැර නැවත ප්‍රධාන මාර්ගවල වෙළෙඳාමට යොමු වීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වීමට හේතු වී ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ලබා දුන් සහන කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින්, ආණ්ඩුකාරවරයා හෝ ජනාධිපතිවරයා මැදිහත් වුවද, කිසිදු හේතුවක් මත මෙම තීරණය වෙනස් නොකරන බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් තරයේ අවධාරණය කළේය.




මේ අතර, මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෝ පවසන්නේ, තමන් නගර සභාවට අදාළ බදු මුදල් ගෙවමින් වෙළෙඳාම් කළද, වෙළෙඳපොළ ඉදිරිපිට සිදු කරන පදික වෙළෙඳාම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී නගර සභාව දැනුවත් කළද, ඊට නිසි සහනයක් නොලැබුණු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය. නගර සභාවේ හඳුනාගැනීම් අනුව, මේ වන විට මහනුවර නගරය තුළ පදික වෙළෙඳුන් 60ත් 80ත් අතර සංඛ්‍යාවක් කටයුතු කරමින් සිටිති.