airport-trade-unions-stage-protest-over-insufficient-bonus

ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති විසින් අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බුදු මැදුර පරිශ්‍රයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් 2025 වසර සඳහා ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දෙන බවට ප්‍රකාශයට පත් කළ මූලික වැටුප් පහක ප්‍රමාණය ගෙවන ලෙස බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.




මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් පන්සියයක පමණ සේවක සේවිකාවෝ පිරිසක් සහභාගී වූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේය.

විරෝධතාකරුවන් අමතමින්, ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා පෙන්වා දුන්නේ, ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21ක් පමණ වන පසුබිමක, 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගුණයක මුදලක් පමණක් ලබා දී ඇති බවයි.




ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමු කර, අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක මුදලක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමට පියවර ගන්නා ලෙසයි. එසේ නොවුණහොත්, තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කළ හැකි ක්‍රම 16ක් පවතින බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් මුහන්දිරම් මහතා අවධාරණය කළේය.