ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකෙන සුනාමි ව්‍යසනයට අද (26) දිනට වසර 21ක් සපිරේ. මෙම ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ තිස් පන්දහසකට අධික ජනතාව සිහිපත් කරමින්, අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් නම් කර ඇති “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව, ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ලේ පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී පැවැත්වේ. රටේ වත්මන් සමාජ හා ආර්ථික තත්ත්වය මෙන්ම දිට්වා සුළි කුණාටුවේ බලපෑමද සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.
මෙම බිහිසුණු ව්‍යසනය හේතුවෙන් පන්දහසකට අධික පිරිසක් අතුරුදන් වූ අතර, රටට බිලියන ගණනක දේපළ හානියක්ද සිදු විය. විශේෂයෙන්ම, සුනාමි රළ පහරට හසුවී විනාශයට පත් වූ අංක 3050 දරන දුම්රිය එන්ජිම සහිත දුම්රිය සිහිපත් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරු 9.00ට පැරෑලිය දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතය. ඔවුන් එහිදී ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමින්, අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වූවන්ට ගෞරව පුද කරනු ඇත.
ව්‍යසනයට වසර විසි එකක් සපිරීම නිමිත්තෙන්, පැරෑලිය සුනාමි හොංගොන්ජි මධ්‍යස්ථානයේදී විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ පැරෑලිය මලවැන්න ශ්‍රී පුෂ්පාරාමාධිපති පූජ්‍ය මාවඩවිල ශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරේ. මලවැන්න විහාරස්ථ පුෂ්පාරාම සංඝමිත්තා කුලඟන සමිතිය, පඤ්ඤාවංශ දහම් පාසල සහ අනගාරික ධර්මපාල සුචරිත පදනම එක්ව සංවිධානය කරන මෙම පින්කම් පෙළ අද පෙරවරු 7.00ට මහා සංඝරත්නය උදෙසා පිරිනමන හිල් දානයෙන් ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම, මීට වසර 21කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වන දින, සුනාමි රළ පහර පැරෑලිය ප්‍රදේශයට ළඟා වූ පෙරවරු 9.15ට, මියගිය අය සිහිපත් කරමින් පහන් දැල්වීමක්ද සිදු කෙරේ. අනතුරුව, පස්වරු 4.00ට මලවැන්න පුෂ්පාරාමයේ සිට පැරෑලිය හොංගොන්ජි මධ්‍යස්ථානය දක්වා ගිලන්පස සහ මල් පෙරහැරක් වීථි සංචාරය කරනු ඇත. පසුව, පස්වරු 5.00ට පූජ්‍ය මොරවත්තේ සුබෝධි හිමියන් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබන අතර, මෙම පින්කම් මාලාව පස්වරු 6.00ට පූජ්‍ය මාවඩවිල ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබන ගිලන්පස පූජාවෙන් අවසන් වීමට නියමිතය.