මගීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට අහුන්ගල්ල පොලිසිය වෙත පැමිණි පෞද්ගලික බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඔවුන් ලබන ජනවාරි මස 6 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අහුන්ගල්ල පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ, ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සවස කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ අදාළ පෞද්ගලික බස් රථය අධික වේගයෙන් ගමන් කිරීමයි. බස් රථයේ වේගය අඩු කරන ලෙස මගීන් කිහිප වරක් ඉල්ලා සිටියද, රියැදුරු ඊට සවන් දී නොමැත. මේ හේතුවෙන් කෝපයට පත් මගීන් රියැදුරාට පහර දී ඇති අතර, මගීන්ගෙන් තවදුරටත් පහරදීම වළක්වා ගැනීමටත්, ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීමටත් රියැදුරු බස් රථය අහුන්ගල්ල පොලිසිය වෙත රැගෙන විත් තිබේ.
කෙසේවෙතත්, රියැදුරු පොලිසියට පැමිණිලි කරද්දී, බස් රථයේ සිටි සියලු මගීන් රියැදුරුගේ හා කොන්දොස්තරවරයාගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය පිළිබඳව චෝදනා කර ඇත. මේ අනුව, පොලිසිය රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳව අහුන්ගල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක විමලරත්න මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.
“දෙසැම්බර් 23 වැනිදා සවස 6:30ට පමණ බස් රථය පොලිසියට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන විට, එහි සිටි සියලුම මගීන් රියැදුරුට හා කොන්දොස්තරවරයාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළා. අලුත්ගම පසු වූ පසු බස් රථය අධික වේගයෙන් ධාවනය වී තිබෙනවා. මගීන්ට ආසනවල වාඩි වී සිටීමට පවා නොහැකිව ඇද වැටුණු බවත්, හදිසියේ තිරිංග යොදන විට බස් රථය තුළට වැටුණු බවත් ඔවුන් පැවසුවා. ඒ නිසා වේගය අඩු කරන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.”
“එහෙත් ඊට කන් නොදී රියැදුරා බස් රථය වේගයෙන් ධාවනය කළ විට, මගීන් සියලු දෙනා රියැදුරු සමඟ බහින්බස් වී තිබෙනවා. පොලිසිය නිරතුරුවම මහජන ආරක්ෂාව සඳහා බැඳී සිටිනවා. මහජන පැමිණිල්ලක් ලැබුණු විට පොලිසිය මහජනයාගේ පැත්ත ගන්නවා. ඒ අනුව, පොලිසිය බස් රථයද සමඟ රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගත්තා. රියැදුරා බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහු ගංජා පානය කර ඇති බව වාර්තා වුණා. රියැදුරා සහ කොන්දොස්තර පොලිස් ඇප මත මුදා හැර, ජනවාරි 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වාහනයද පරීක්ෂාවට ඉදිරිපත් කරනවා.”
“මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ අවස්ථාවේදී, මට නොයෙකුත් බලපෑම් සහ තර්ජන එල්ල වුණා. නමුත්, අප මහජන ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටිනවා. ඒ අනුවයි අපි කටයුතු කළේ.” යැයි වැඩබලන ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.