three-wheeler-youth-fined-300000-for-showing-secrets-to-suddhi

පසුගියදා විදේශ සංචාරක කාන්තාවන්ට නිරුවත පෙන්වූ තරුණයින් ගැන ප්‍රවෘත්ති කිහිපයක්ම වාර්තාවූ අතර ඉන් තවත් එකක් වූයේනෙදර්ලන්ත ජාතික සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට තම ශරීරයේ රහසඟ ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකි.


මේ සම්බන්ධයෙන් වරද පිළිගත් ත්‍රිරෝද රථ රියදුරෙකුට පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ. මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවට විත්තිකරු වරද පිළිගත් අතර,


පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්.එස්.එල්. දසනායක මහත්මිය විසින් ඔහුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක් අගතියට පත් කාන්තාවන්ට ගෙවන ලෙස නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරන ලද මෙම මාස හයක සිරදඬුවම වසර දහයක කාලයකට අත්හිටුවීමටද එහිදී පියවර ගනු ලැබීය. 

සිද්ධියට මුහුණ පෑ විදේශීය කාන්තාවන් දෙදෙනා කුරුණෑගල සිට මහනුවර දක්වා ගමන් කිරීම සඳහා විත්තිකරුගේ ත්‍රිරෝද රථය භාවිතා කර ඇති අතර, ගමන අතරතුර මාර්ගය පිළිබඳ විමසීමක් සිදුකළ අවස්ථාවේදී රියදුරු විසින් අශෝභන ලෙස හැසිරී තිබේ. එහිදී මොහු තම නිරුවත පෙන්වා කාන්තාවන්ට අතවර කර ඇති බවත්, එම අවස්ථාවේදී අදාළ කාන්තාවන් විසින් එම ක්‍රියාව වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය විය. පසුව ඔවුහු මේ සම්බන්ධයෙන් මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.




පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් සිටියදී ඔහු පොලිසියට භාර වී ඇති අතර, මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි මුතුතන්ත්‍රිලාගේ චානූක නුවන් ජයසිංහ නැමැත්තෙකු මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සඳහා රුපියල් 1500 බැගින් රුපියල් 3000ක මුදලක් රජයේ දඩ මුදලක් වශයෙන් ගෙවීමටද නියෝග කෙරුණු අතර, අත්හිටවූ සිරදඬුවමට අමතරව ලක්ෂ 3 වන්දි මුදල ගෙවීමටද විත්තිකරු බැඳී සිටියි.