බලපිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් කන්දේගොඩ මහා විද්‍යාලයේ අනාරක්ෂිත කානුවකට ඇදවැටීම හේතුවෙන් එම විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ වකුගඩුවක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සිදුවීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. වතුගෙදර කුරුඳුවත්තේ පදිංචි මෙම දරුවා
පසුගිය මස 27 වැනිදා මෙම අනතුරට මුහුණ පා ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් මෙම ශල්‍යකර්මය සිදු කර තිබේ.සිද්ධියට මුහුණ පෑ දරුවාගේ නැන්දා වන බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නිලුකා කුමාරි මහත්මිය පවසන පරිදි, අනතුරින් පසු පන්ති කාමරයේ හඬමින් සිටි දරුවාගෙන් විමසීමේදී පන්ති භාර ගුරුතුමියට මේ බව පවසා ඇත. අනතුරුව පාසලෙන් කළ දැනුම්දීමකට අනුව පැමිණි දරුවාගේ මව විසින් ඔහුව අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලට රැගෙන ගොස් ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එතැනින් බලපිටිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණවලින් අනතුරුව වකුගඩුවලට දැඩි හානි සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, දරුවාගේ ජීවිතාරක්ෂාව පතා එක් වකුගඩුවක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
දරුවාගේ පියා වෘත්තියෙන් කාර්මිකයෙකු වන අතර පවුලේ තවත් අවුරුදු එකහමාරක දරුවකු සිටින බව පවුලේ ඥාතීහු පවසති. මෙම බරපතල සිදුවීමෙන් පසු විද්‍යාලයේ විදුහල්පතිවරයා දරුවාගේ සුවදුක් විමසීමට පැමිණීම හෝ දුරකථන ඇමතුමක් ලබා දීම හෝ සිදු නොකළ බවට ඥාතීහු චෝදනා කරති. පාසල් භූමියේ ගොඩනැගිලි ආශ්‍රිත කානු පද්ධතිය ඉතා අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවත්, ඒ පිළිබඳ ඡායාරූප ගැනීම සඳහා පාසල තුළට ඇතුළුවීමට අවසර නොදෙන බවත් නිලුකා කුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ පිළිබඳව විමසීම සඳහා කන්දෙගොඩ මහා විද්‍යාලයේ විදුහල්පති වයි.
අමරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවත්, අදාළ තොරතුරු අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසත් ඔහු දැනුම් දී ඇත. කෙසේ වෙතත්, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටලුව දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් විය. එහිදී අදහස් දැක්වූ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරුද්ධිකා කලහෙවත්ත මහත්මිය ප්‍රකාශ කළේ බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරිය මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කර ඇති බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල පවතින මෙවැනි අනතුරුදායක ස්ථාන හඳුනාගෙන විසඳුම් ලබාදීම සඳහා දිස්ත්‍රික් අනුකමිටුවක් පත්කර ඇති බව බලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය එහිදී පෙන්වා දුන්නාය. කන්දෙගොඩ විද්‍යාලයේ මෙම අනාරක්ෂිත කානුව පිළිබඳ තොරතුරු අදාළ අනුකමිටුවට වාර්තා වී තිබුණේ නම් මෙවැනි විපතක් වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ඇය සඳහන් කළාය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වාර්තා කරන ලෙස මන්ත්‍රීවරිය විසින් අම්බලන්ගොඩ කලාප සහ බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval