thiruvananthapuram-man-killed-by-african-who-went-to-israel-for-carpentry-work

 ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාට සාධාරණය ඉටු කරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලා සිටියි. අම්බලන්ගොඩ, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ තරිඳු ශානක නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති ඔහු, එහි වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටියදී අප්‍රිකානු ජාතිකයෙකු එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.




මේ වන විට තරිඳු ශානකගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔහුගේ දේහය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවුලේ ඥාතීන් දැඩි බලාපොරොත්තුවෙන් පසුවන අතර, පාසල් යන වයසේ පසුවන ඔහුගේ කුඩා දියණියන් දෙදෙනා ද පියාගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටිති. බිරිඳගේ ලිඛිත අවසරය ලැබුණු වහාම මරණ පරීක්ෂණයේ අවසන් කටයුතු සිදු කර දේහය ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව තානාපතිවරයා තහවුරු කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම සමඟ පසුගියදා (14) විශේෂ සාකච්ඡාවක් ටෙල්අවිව්හි සලාමේ පොලිස් ස්ථානයේදී පවත්වා තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වී ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේ තරිඳු ශානක සමඟ සිටි බව කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඔවුන් ලබා දී ඇති තොරතුරුවලට අනුව, තරිඳු ශානක තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ නවාතැන් ගෙන සිට ඇති අතර, එදින රාත්‍රී 11.00 ට පමණ ඔහු සහ තවත් අයෙකු නවාතැන අසල උද්‍යානයක මත්පැන් පානය කරමින් සිට තිබේ.




එහිදී ශාරීරික අවශ්‍යතාවක් සඳහා උද්‍යානයේ කෙළවරකට ගිය අවස්ථාවේදී තරිඳු ශානක සහ වෙනත් අයෙකු අතර බහින්බස්වීමක් සිදුවන හඬක් ඇසුණු බවත්, පසුව නවාතැනේ සිටි සෙසු මිතුරන් කැඳවාගෙන පැමිණ බලන විට ඔහුගේ ගෙල කපා දමා තිබූ අයුරු දැකගත හැකි වූ බවත් සිද්ධිය ඇසින් දුටු මිතුරෙකු ප්‍රකාශ කර ඇත. ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන අප්‍රිකානු ජාතිකයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහුගේ අනන්‍යතාව හෙළි නොකිරීමට ඊශ්‍රායල පොලීසිය තීරණය කර ඇත. ඊශ්‍රායල තානාපති කාර්යාලය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මියගිය තරිඳු ශානකගේ පවුලේ අයට සිය බලවත් ශෝකය පළ කර සිටිති.

gossiplanka image 1