tensions-in-bangladesh-ahead-of-verdict-against-hasina

 බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී ඩකා අගනුවර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය වසරේ පැවති වීදි විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරියට එරෙහිව

මෙම නඩුව ගොනු කර ඇති අතර, තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉරිදා දිනයේ ඩකා අගනුවර ස්ථාන කිහිපයකම අත්බෝම්බ පිපිරීම් වාර්තා වූ බව පොලිසිය පවසයි.


මෙම පිපිරීම්වලින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොතිබුණද, දින ගණනාවක් පුරා පැවති දේශපාලන නොසන්සුන්තාවයෙන් පීඩා විඳින නගර වැසියන් මෙම සිදුවීම් හේතුවෙන් තවදුරටත් භීතියට පත්ව ඇත.

හැත්තෑ අට හැවිරිදි වියේ පසුවන ෂෙයික් හසීනා, 2024 වසරේ මැද භාගයේදී සිසුන් විසින් මෙහෙයවූ විරෝධතාවලට එරෙහිව මාරාන්තික මර්දනයක් දියත් කිරීමට අණ දුන් බවට චෝදනා එල්ල වී ඇති අතර ඇයට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි. පසුගිය අගෝස්තු මාසයේදී බලයෙන් පහ කිරීමෙන් පසු ඉන්දියාවට පළා ගිය ඇය එතැන් සිට ඉන්දියාවේ රැඳී සිටින අතර තමන් නිර්දෝෂී බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, ඇය නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යනු ලබයි.

පවතින කලබලකාරී වාතාවරණය හමුවේ ඩකා මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස්වරයා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බවත්, ඒ අනුව ගිනි තැබීම් හෝ අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ජීවිත හානි සිදු කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන් උපදෙස් දී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. අගනුවර පුරා ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර, විශේෂයෙන් හසීනාගේ පාරම්පරික නිවස පිහිටි සහ ඇයගේ පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකෙන ගෝපාල්ගන්ජ් දිස්ත්‍රික්කයේත්, ඊට යාබද දිස්ත්‍රික්ක දෙකකත් ආරක්ෂාව සඳහා බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක බළකායේ භටයින්ද අනුයුක්ත කර තිබේ.




ප්‍රධාන රජයේ ගොඩනැගිලි සහ ප්‍රධාන මංසන්ධි අවට පොලිසිය සහ ක්ෂණික ක්‍රියාකාරී බලකායේ කණ්ඩායම් ස්ථානගත කර ඇති බැවින් අගනුවර ඇතැම් ප්‍රදේශ අසාමාන්‍ය ලෙස පාළුවට ගොස් ඇති ආකාරය දක්නට ලැබේ. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඩකා නුවර ත්‍රිරෝද රථ රියදුරෙකු වන රම්ජාන් අලි ප්‍රකාශ කර ඇත්තේ නගරයේ ඉතා දැඩි ආතතියක් පවතින බවත්, මිනිසුන් එළියට බැසීමට මැලි වන බැවින් තමන් උදෑසන සිට මාර්ගයේ රැඳී සිටියද දවස පුරා සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ බවත්ය.

නඩු තීන්දුව ලබා දීමට ආසන්න දිනවලදී බලධාරීන් විසින් අත්බෝම්බ පිපිරීම් 30කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර ඩකා සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක බස් රථ දුසිම් ගණනක් ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වේ. මෑත දිනවල සිදුවූ පිපිරීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ බවට සැක පිට අවාමි ලීගයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.