ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව ජනපති ලේකම් විසින් හදිසි නීති ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ආපදා සේවාවන් සඳහා හමුදාව කැඳවීමට නීතිය පහසුවීම පිණිස මෙම නීතිය පනවා ඇත.
මහජන ආරක්ෂාව සහ රටේ සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ අරමුණින් සන්නද්ධ හමුදා සාමාජිකයින් සේවයේ යෙදවීමට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 නොවැම්බර් මස 28 වැනි දිනැතිව අංක 2464/30 යටතේ මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාවත්, රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීමත් මූලික කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ. විශේෂයෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ. 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් මෙන්ම 1988 අංක 28 දරන පනතින් සංශෝධිත, 40 වන අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නියෝගය 2025 නොවැම්බර් මස 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස සන්නද්ධ හමුදා කැඳවීම සඳහා බලපැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් කොළඹ දී මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval