no-vehicle-permits-for-professionals-in-the-upcoming-budget

 ඉදිරි අයවැයෙන් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට වැඩි ඉඩක් නොමැති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති, වසර අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ඉලක්කයක් සපුරා ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළැඹ ඇති බවට තොරතුරු අනාවරණය වේ.



මේ වන විටත් නිලධාරීන් 23,000කට ආසන්න පිරිසකගේ බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර, තවත් නිලධාරීන් පිරිසක් එම පහසුකම සඳහා සුදුසුකම් ලබමින් සිටිති.

ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමට මාසයක පමණ කාලයක් ඉතිරිව තිබියදී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද, තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පියවර ගෙන ඇත්තේ මෙරට වාහන ආනයනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමකය. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, වසරේ මුල් මාස අට තුළ වාහන ආනයනය සඳහා වැයවී ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 918ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් අගෝස්තු මාසයේදී පමණක් පෞද්ගලික සහ වාණිජ වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 249ක් වැය කර ඇති අතර, එය මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදමයි.

කෙසේ වෙතත්, වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම සම්බන්ධයෙන් රජය සිය ඉලක්ක දැනටමත් ඉක්මවා ගොස් තිබේ.

අදාළ වාර්ෂික ඉලක්කය රුපියල් බිලියන 450ක් ලෙස නියම කර තිබුණද, මේ වන විට රුපියල් බිලියන 470ක ආදායමක් උපයා ගැනීමට රජය සමත් වී ඇත.

වසර පහක කාලයකට පසු මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය ලිහිල් කිරීමෙන් අනතුරුව, මේ දක්වා නව වාහන 37,115ක් ලියාපදිංචි කර තිබේ. මහා භාණ්ඩාගාර නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ, වර්තමානයේ වාහන ආනයනය ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කරමින් ඉතා සැලකිලිමත්ව සිදුකරන බවයි. දීර්ඝ කාලයකට පසුව ආනයනයට අවසර දීම සැලකිල්ලට ගත් විට, මෙතෙක් ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව රජයේ ඇස්තමේන්තුවලට වඩා ඉහළ ගොස් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.