තමිලග වෙට්‍රි කලහම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ සහභාගී වූ කරූර් රැලියේදී සිදුවූ මාරාන්තික තෙරපීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක, මහජන ආරක්ෂාව පදනම් කරගනිමින් තාවකාලික විදුලි විසන්ධියක් ඉල්ලා එම පක්ෂය විසින්ම යොමු කරන ලද ලිපියක් මේ වන විට අනාවරණය වී තිබේ. පසුගිය සෙනසුරාදා පැවති මෙම රැලියේදී ඇතිවූ තෙරපීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60කට අධික පිරිසක් තුවාල ලැබූහ.
තාවකාලික විදුලි විසන්ධියක් සඳහා TVK පක්ෂයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බව තමිල්නාඩු විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තහවුරු කර ඇති නමුත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර ඇත. දිස්ත්‍රික් බටහිර ලේකම් සහ ප්‍රධාන ඉංජිනේරු රාජලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කළේ, 2025 සැප්තැම්බර් 27 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු ඊරෝඩ් පාරේ වෙලුචාමිපුරම් ප්‍රදේශයට විශාල ජනකායක් අපේක්ෂා කරන බව පවසමින් TVK පක්ෂයෙන් ලිපියක් ලැබුණු නමුත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
රජයේ ආරංචි මාර්ග පැවසුවේ, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නායක විජේ කතා කරන කාල සීමාවට පමණක් විදුලිය විසන්ධි කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබූ බවයි. විදුලි විසන්ධි අවස්ථාවේ විජේ ජෙනරේටර් ආදාරයෙන් සභාව අමතන්නට සූදානම්කර තිබී ඇත."වෙලුචාමිපුරම් යනු ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර විශාල ජනකායක් පැමිණෙන බැවින්, නායකයා කතා කරන නිශ්චිත කාලය සඳහා පමණක් විදුලිය විසන්ධි කරන ලෙස මහජන ආරක්ෂාව සලකා කාරුණිකව ඉල්ලා සිටිමි" යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබිණි.
කෙසේ වෙතත්, මෙම විදුලි විසන්ධිය කුමන්ත්‍රණයක කොටසක් බවට TVK පක්ෂ ආරංචි මාර්ග චෝදනා කරයි. "මෙම සිදුවීම පොලීසිය සහ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් ප්‍රදේශයේ මැර කල්ලි සමග එක්ව සැලසුම් කර ඇත," යනුවෙන් පක්ෂයේ ආරංචි මාර්ගයක් සඳහන් කළේය.
සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසුවේ, සවස 7 සිට 7.30 දක්වා විදුලිය ඇනහිටීමක් පැවති බවයි. වින්දිතයෙකුගේ මස්සිනා වන විනෝද් කුමාර් පැවසුවේ, තම රසිකයින් විසින් 'විජේ මාමා' ලෙස ආදරයෙන් හඳුන්වනු ලබන විජේව එක වරක් හෝ දැක බලා ගැනීම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් එදින සවස් වන තුරු රැඳී සිටි බවයි. "බොහෝ ප්‍රමාද වුවත්, ඔවුන්ට විජේ සර්ව එක වරක් දැක ගැනීමට අවශ්‍ය වුණා.
සවස 7 සිට 7:30 දක්වා විදුලිය විසන්ධි වූ අතර, ඔහුගේ පැමිණීමට මොහොතකට පෙර ජනතාව තෙරපෙන්නට පටන් ගත්තා. මගේ නෑනා සහ ඇගේ වයස අවුරුදු 11 සහ 7 වයස්වල පසුවූ දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගියා. වැඩිමහල් සහ බාල දරුවා හුස්ම ගැනීමට නොහැකිව මවගෙන් වෙන්වී සිටියා," යැයි ඔහු පැවසීය. මරණ පරීක්ෂණ වාර්තා මගින්ද මරණයට හේතුව හුස්ම හිරවීම බව තහවුරු කර තිබේ.
විජේ රැලිය පැවති ස්ථානයට ළඟා වන විට විදුලිය විසන්ධි කළ බවට TVK පක්ෂය කරන ප්‍රකාශවලට පටහැනිව, ඉරිදා දිනයේදී තමිල්නාඩු රජය කියා සිටියේ එම ස්ථානයේ විදුලි කප්පාදුවක් සිදු නොවූ බවයි. තමිල්නාඩු රජයේ කරුණු පරීක්ෂා කිරීමේ ඒකකය සඳුදා X සමාජ ජාලයේ සටහනක් තබමින් පැවසුවේ, "මෙම අවස්ථාවේදී විදුලි කප්පාදුවක් සිදු නොවීය. TVK පක්ෂය විදුලි සැපයුම අත්හිටුවීමක් ඉල්ලා සිටියද, එවැනි විදුලි කප්පාදුවක් සිදු නොවීය. විදුලි පහන් කිහිපයක් මොහොතකට අඳුරු වීම පක්ෂයේ විධිවිධානවලට අයත් විදුලි ජනක යන්ත්‍රයක දෝෂයක් නිසා පමණක් සිදුවූවකි," යනුවෙනි. දිස්ත්‍රික් ලේකම්වරයා සහ ADGP වරයාද ඒ හා සමාන පැහැදිලි කිරීම් නිකුත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval