
ප්‍රංශයේ දහහතරවන ලුවී රජ සමයේ පැවති මෝස්තරවලට අනුකූලව නිෂ්පාදනය කරන ලද, රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් රිදී සහ රන් ආලේපිත භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් සොරකම් කරන්නට ඇති බවට ප්‍රංශ ජාතික කාන්තාවක් තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වසර 34ක් පුරා තලංගම, හෝකන්දර දකුණ, ඇවරිහේන ප්‍රදේශයේ පදිංචිව සිටින 86 හැවිරිදි වියේ පසුවන මෙම පැමිණිලිකාරිය, සිය නිවසේ නිරතුරුවම මිතුරු හමුවීම් සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කරන බව පොලිසියට පවසා ඇත. පසුගිය වසරේ මැයි 27 සහ ජූනි 04 යන දින අතර කාලයේ පැවති එවැනි සාදයකට සැකකාර ගුවන් හමුදා නිලධාරියාද සහභාගී වී එදින නිවසේ නවාතැන් ගෙන තිබේ.
එම රාත්‍රියේදී ඔහු විසින් සිය කාමරයක අල්මාරියක් විවෘත කරමින් සිටිනු සිය නිවසේ සේවකයෙකු විසින් දැක ඇති බවත්, පසුව සිදුකළ පරීක්ෂාවකදී එම අල්මාරියේ තිබූ ඉහත කී වටිනා භාණ්ඩ අතුරුදන්ව ඇති බවට අනාවරණය වූ බවත් ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.
අතුරුදන් වූ භාණ්ඩ අතර රිදී හැඳි, ගෑරුප්පු සහ පිහි විස්ස බැගින්, රිදී තේ පෝච්චි කට්ටල 14ක්, ආහාර බඳුන් 14ක්, සුප් හැඳි 03ක්, රිදී අතුරුපස බඳුන් කට්ටල 16ක්, රන් ආලේපිත හැඳි 10ක්, රන් ආලේපිත තේ පෝච්චි කට්ටල 10ක්, රන් ආලේපිත වීදුරු 10ක් සහ මත්පැන් පානය කරන වීදුරු 24ක්, රිදී ආභරණ පෙට්ටි 02ක්, රිදී කරාබු ජෝඩුවක් සහ රතු පැහැති ගමන් මල්ලක් ද වන බවට පැමිණිල්ලේ ලැයිස්තුගත කර ඇත.
එම සාදයෙන් අනතුරුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් විදේශගතව ප්‍රතිකාර ලබා නැවත පැමිණීමෙන් පසු, ඉකුත් 26 වන දින ඇය විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. තලංගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval