24-unroadworthy-school-transport-vans-banned-in-chilaw-region

 හලාවත, මාදම්පේ සහ ආරච්චිකට්ටුව පොලිස් බල ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කරන වාහන ඉලක්ක කර ගනිමින් ඊයේ (15) සිදුකළ හදිසි පරීක්ෂාවකදී, බස් රථ සහ වෑන් රථ 24ක් ධාවනය සඳහා තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.



මාදම්පේ, මැදගම ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් විසින් පාසල් ප්‍රවාහන වාහන 54ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මෙසේ ධාවනයට නුසුදුසු බවට හඳුනාගෙන ඇත. පරීක්ෂා කළ වාහන අතුරින් ඉතා හොඳ තත්ත්වයේ පැවතී ඇත්තේ එක් වාහනයක් පමණක් වීම විශේෂත්වයකි.



මෙම වාහනවල තිරිංග පද්ධතියේ දෝෂ, ගෙවී ගිය ටයර් භාවිතය, සංඥා පද්ධතිවල සහ විදුලි පහන්වල ගැටලු, ආසනවල අනාරක්ෂිත බව සහ සුක්කානමේ දෝෂ වැනි බරපතළ අඩුපාඩු රැසක් පැවති බව පොලීසිය පවසයි.

ධාවනය තහනම් කළ වාහනවල හිමිකරුවන්ට එම දෝෂ සියල්ල දින දහයක් ඇතුළත නිවැරදි කර නැවත පරීක්ෂාව සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බව මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත රෙජිනෝල්ඩ් මහතා සඳහන් කළේය