කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් විකෘති කරන ලද ඡායාරූප යොදා ගනිමින්, ෆේස්බුක් ඔස්සේ තමන්ට අපහාස කිරීම වළක්වාලන ලෙස ඉල්ලා ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක වන ගයේෂිකා ප්‍රනාන්දු හෙවත් 'ටීචර් අම්මා' විසින් ගොනු කළ නඩුවකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් 'Trending Sri Lanka' නැමැති ෆේස්බුක් ගිණුමට ලබන 29 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ. මීට අමතරව, දැනටමත් පළ කර ඇති අපහාසාත්මක සටහන් අවහිර කරන ලෙස ඇමරිකාවේ මෙටා (Meta) සමාගමට සහ මෙරට අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ආයතන හතරකටද අධිකරණය නියෝග කළේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ, තම සේවාදායිකාවගේ ඡායාරූප AI තාක්ෂණයෙන් විකෘති කර, ඇයගේ කීර්තිනාමයට හානි වන අයුරින් අදාළ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති බවයි. වෘත්තීයමය තරගකරුවන් විසින් මුදල් ගෙවා මෙම අපහාස කිරීම් සිදුකරන බවට පෙත්සම්කාරිය විශ්වාස කරන බවද නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
මෙම සිදුවීමෙන් තම සේවාදායිකාවගේ පෞද්ගලික ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වී ඇති බව නීතිඥවරු පෙන්වා දුන්හ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ වාරණ නියෝගය නිකුත් කළ අතර, නඩුවේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද පියවර ගත්තේය.
මේ සමග පළවන්නේ ආන්දෝලනයට ලක්වූ AI නිර්මාණයි.
Comments
Post a Comment
Your comment will be visible after approval