
බදු ගෙවන මහජන මුදල් නාස්තිය වළක්වා ගැනීමේ අරමුණින්, කිසිදු කාර්යයක් ඉටු නොකර නාමිකව පමණක් පවතින රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමට (liquidate) රජය සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 13 වන දා ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ 35 වැනි මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "සමහර ආයතනවල බෝඩ් ලෑල්ලක්වත් නොමැති අතර, සිටින්නේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පමණි. භාණ්ඩාගාරයෙන් ඔවුන්ට වැටුප් ගෙවුවද, රටට කිසිදු සේවයක් සිදු නොවේ. ජනතාව මහන්සියෙන් උපයන බදු මුදල් මෙවැනි නාමික ආයතන නඩත්තු කිරීමට යෙදවීම නතර කළ යුතුය," යනුවෙන් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා සිමෙන්ති සමාගම එවැනි නාමික ආයතනයක් බවත්, එය සිමෙන්ති සංස්ථාව නොවන බවත් ඔහු උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වීය.
මීට අමතරව, එකම කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමටද යෝජනා වී ඇති බව ඒ මහතා පැවසීය. තේ පර්යේෂණ ආයතනය, තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ද එකම කාර්යයක් සඳහා ආයතන කිහිපයක් පැවතීම අනවශ්‍ය මුදල් නාස්තියක් බව ඔහු අවධාරණය කළේය.
රජයේ කාර්යභාරය විය යුත්තේ ව්‍යාපාර කිරීම නොව, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය බදු, තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් සැලසීම බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන කුඩා කර කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval