western-traffic-offenses-33-fines-to-be-paid-online

 බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල සිදුවන රථ වාහන වැරදි සඳහා ස්ථානීය දඩ මුදල් මාර්ගගත ක්‍රමයට ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ 'GoVpay' යෙදවුම හරහා දඩ මුදල් ගෙවීමේ මෙම වැඩපිළිවෙළ ජූලි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි. 





මෙම නව ක්‍රමය යටතේ රථ වාහන වැරදි 33ක් සඳහා අන්තර්ජාලය ඔස්සේ දඩ මුදල් ගෙවීමේ හැකියාව රියදුරන්ට හිමි වේ. දඩ මුදලේ කිසිදු වෙනසක් නොවන අතර, තැපැල් කාර්යාල වෙත ගොස් දඩ ගෙවීමේදී වැයවන අමතර කාලය හා ගාස්තු ඉතිරි කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව රථ වාහන පොලිස් නිලධාරීන් පුහුණු කර ඇති අතර,

පළමු අදියර යටතේ නිලධාරීන් 1000කට අවශ්‍ය ස්මාර්ට් දුරකථන ලබා දීමට නියමිතය. අගෝස්තු මස 4 වැනිදා වන විට මෙම ක්‍රමය බස්නාහිර පළාත තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත් ආවරණය වන පරිදි මෙය පුළුල් කිරීමටද සැලසුම් කර තිබේ.

මාර්ග ආරක්ෂාව නැංවීමේ අරමුණින් මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත් කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.