නුගේගොඩ ගුවන් පාලම මතදී ලොරි රථයක සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි කංකානම්ගේ අයේෂන් කවිදු පවන් ජයසිංහ නමැති තරුණයෙකු බවයි.
සේවය නිමවා මිතුරන් සමග නවාතැන්පළ බලා යමින් සිටියදී මෙම පිරිස අනතුරට ලක්ව තිබේ.
හැව්ලොක් ටවුන් හි පිහිටි සේවා ස්ථානයෙන් පිටත්ව රාජගිරියේ පිහිටි නවාතැන්පළ වෙත ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නුගේගොඩ ගුවන් පාලම මතදී මහරගම දෙසට පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ අයේෂන් කවිදු නැමැති තරුණයා මියගොස් ඇති අතර, තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී, මරණයට හේතුව හිසට, පපුවට සහ උදරයට සිදුවූ බරපතළ අභ්‍යන්තර තුවාල බවට නිගමනය කර ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ත්‍රීරෝද රථ රියදුරු සුවය ලැබූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර ඇති අතර, මිරිහාන මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval