the-nine-arches-bridge-and-the-palace-are-decorated-with-lights

 දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ඇති දෙමෝදර ආරුක්කු නවයේ පාලම හා ඒ ආසන්නයේ පිහිටි බිංගෙය, විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර තිරසර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව

කටයුතු යොදා තිබේ. මෙම සංස්කෘතික උරුමය, සියලු පහසුකම්වලින් සමන්විත ගුණාත්මක සංචාරක පූජා භූමියක් බවට පත් කිරීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ පුළුල් වැඩපිළිවෙළෙහි එක් අංගයක් ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාවට නැංවෙන මෙහි පළමු අදියර වශයෙන්, එම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා අවන්හල් සහ සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.



වසර සියයක් ඉක්මවූ, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉංජිනේරුමය දායාදයක් වන මෙම ආරුක්කු නවයේ පාලමේ සහ බිංගෙයෙහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන අයුරින් මෙම ආලෝකකරණ කටයුතු සිදුකෙරේ. ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඟපෙන්වීම අනුව, පාලමේ ගෘහ නිර්මාණ ශිල්පයට හානි නොවන 'warm white' පැහැති විදුලි බල්බ හැත්තෑවක් පමණ මේ වනවිටත් සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ව්‍යාපෘතියේ පළමු අදියර නිමවා, එළඹෙන අගෝස්තු මාසයේදී මෙය සංචාරකයින් සඳහා විවෘත කිරීමට අපේක්ෂිතය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයවන මෙම ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සාමූහික දායකත්වය හිමිවී තිබේ.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7