ambulance-driver-also-beaten-up-in-freshman-row-at-southeastern-university

 අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමක් හේතුවෙන්, පළමු වසරේ සිසුන් සිව්දෙනෙකු සහ විශ්වවිද්‍යාල ගිලන් රථයේ රියදුරු ඔලුවිල් රෝහලට ඇතුළත් කර ඇති බවට අක්කරපත්තුව පොලිසිය වාර්තා කරයි. පෙරේදා රාත්‍රී 2.30 ට පමණ, දෙසියයකට ආසන්න ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ගේ නේවාසිකාගාරවලට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.



මෙම සිදුවීමට පදනම් වී ඇත්තේ මීට පෙර සිදු වූ නවක වද සිදුවීමක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගිය ජුනි මාසයේදී දෙවැනි වසර සිසුන් විසින් පළමු වසර සිසුන්ට නවක වදය දෙන අයුරු වීඩියෝ ගත කර මාධ්‍ය වෙත මුදා හැරීමට නවක සිසුන් කටයුතු කර තිබිණි. එම සිද්ධියට අදාළව දෙවැනි වසරේ සිසුන් විසි දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති අතර, ඉන් දොළොස් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සිදුවීම මුල් කරගෙන ජ්‍යෙෂ්ඨ සිසුන් පළමු වසර සිසුන් සමඟ උරණව සිටීම මෙම පහරදීමට හේතු වූ බව රෝහල් ගත කළ සිසුහු ප්‍රකාශ කරති.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇති අතර,

පහරදීම මිනිත්තු 45කට ආසන්න කාලයක් පුරා සිදුවී ඇත. අනතුරුව තුවාල ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ගිලන් රථයෙන් රෝහල් ගත කිරීමට සූදානම් වන අවස්ථාවේදී ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ඔවුන්ට නැවතත් පහරදී තිබේ. එහිදී ගිලන් රථ රියදුරුටද පහරදීමක් සිදුව ඇති අතර, ඔහුවද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. අක්කරපත්තුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.