damayanthi-fonsekas-pocket-was-picked-at-the-national-hospital

 ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා මහත්මිය, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළදී ගැටකපන්නෙකුගේ ගොදුරක් බවට පත්ව තිබේ. වෛද්‍යවරයකු හමුවීම සඳහා විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටියදී, එහි පැවති අධික තදබදය ප්‍රයෝජනයට ගත් පුද්ගලයෙකු විසින් ඊයේ (15) දිනයේදී ඇයගේ අත්බෑගය සූක්ෂම ලෙස විවෘත කර මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන ඇති බව වාර්තා වේ.



සිනමා නිළි රැජින ලෙස විරුදාවලිය ලත්, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය,

සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාවයි. සොරකම් කරන ලද මුදල් සහ බැංකු කාඩ්පත්වලට අමතරව, ඇයගේ ජාතික හැඳුනුම්පතද අත්බෑගය තුළ තිබී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්සේකා මහත්මිය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහල වැනි ඉහළ ආරක්ෂාවක් ඇතැයි සැලකෙන ස්ථානයක මෙවැනි සොරකම් සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවයි. ශල්‍යකර්ම වැනි අවශ්‍යතා සඳහා තම කනකර පවා උගස් කර දුක් මහන්සියෙන් මුදල් රැගෙන එන අසරණ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රෝහල් බලධාරීන්ට සෘජු වගකීමක් පවතින බවද ඇය අවධාරණය කර තිබේ.