strict-rules-for-school-students-riding-motorcycles

 පාසල් නිල ඇඳුමෙන් සැරසී, හිස් වැසුම් පැළඳීමෙන් තොරව මෙන්ම වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනයේ යෙදෙන පාසල් සිසුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව, එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා සඳහන් කළේය.



මෙවැනි තත්ත්වයන්හිදී ඇතැම් දෙමාපියන්ගේ හැසිරීම පිළිබඳවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂ අවධානයක් යොමු කර තිබේ.

තමන් හිස් වැසුම් පැළඳ, තම දරුවා කිසිදු ආරක්ෂාවකින් තොරව යතුරුපැදියේ රැගෙන යාම තුළින් එම දරුවාගේ ජීවිතය බරපතල අනතුරකට හෙළීමට දෙමාපියන්ම කටයුතු කරන බව හෙතෙම පෙන්වා දෙයි.

බාලවයස්කාර, එනම් රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නීත්‍යානුකූලව සුදුසුකම් නොමැති පාසල් සිසුන් මෙන්ම, වයස සම්පූර්ණ වුවද බලපත්‍රයක් හිමි නැති තරුණ සිසුන් ද හිස් වැසුම් නොමැතිව මාර්ගවල ඉතා වේගවත්ව සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදි ධාවනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙම තත්ත්වය හේතුවෙන් අනෙකුත් මගීන් මෙන්ම රියැදුරන් ද දැඩි අපහසුතාවකට සහ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පා සිටින බව හේවාපතිරණ මහතා කියා සිටියේය.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කිසිදු තරාතිරමක් නොබලා අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කළේය. මූලිකව අවවාද කිරීම් මගින් මෙම තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කළද, එය සාර්ථක නොවන්නේ නම් වහාම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.