අවදානම් වර්ගීකරණය යටතේ අනිවාරියෙන්ම ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේඛල යටතේ වූ බහාලුම් එකසිය පනස් එකක් අතුරින් බහාලුම් තිස් හතක් කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කර ඇති බව එම සිද්ධිය පිළිබදව කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ අවසන් වාර්තාවේ සදහන් වන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) ප්‍රකාශ කළේය.
පරීක්ෂාවක් නොකර බහාලුම් 309ක් රේගුවෙන් මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඊයේ සභාගත කරමින් ඔහු මෙසේ පැවැසීය.ආණ්ඩුව මෙම කමිටු වාර්තාව ඉදිරිපත් නොකර සඟවා ගත් හෙයින් තමා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රහුමන් මහතා මෙහි දී සඳහන් කළේය.රතු ලේබලය සහිත බහාලුම් නිදහස් කිරීමේ දී ස්කෑන් පරීක්ෂාවක් කළ යුතු වුව ද නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් කළ යුතු බවට සටහනක් යොදා තිබුණ ද
කිසිදු ස්කෑන් පරීක්ෂාවක් නොකර ඒවා මුදා හැර තිබිණැයි වාර්තාව පවසන බව ඔහු කීවේය.
ස්කැන් කළ යුතු බහාලුම් එකසිය තුනක් මේ අනුව කිසිදු පරීක්ෂාවක් නොකර නිදහස් කර ඇතැයි පැවැසූ මන්ත්‍රීවරයා බහාලුම් නිදහස් කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය ජනවාරි 18 වැනිදා වුවත් එම තීරණය ගැනීමට පෙර දිනයේ දී එනම් ජනවාරි 17 වැනිදා ද බහාලුම් දෙකක් නිදහස් කර ඇති බව සඳහන් කළේය. එසේම සාම්පල් සහ ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු කහ ලේබල් සහිත කන්ටේනර් 158 ක්ද පරීක්ෂාවකින් තොරව එළියට යවා ඇති බව කී රහුමන් මහතා භෞතික පරීක්ෂාවකින් තොරව රතු බහාලුම් මෙසේ නිදහස් කිරීම නිවැරැදි තීරණයක් නොවන බව කමිටුව සඳහන් කර ඇතැයි ද පැවැසීය.
මෙම බහාලුම් පිට කිරීමේ දී අපගමනයක් සිදුව ඇතැයි වාර්තාව ප්‍රකාශ කරන බව පැවැසූ මන්ත්‍රීවරයා සිද්ධියේ දී බරපතළ දූෂණයක් සිදුව ඇති බව ද කීවේය. මාධ්‍ය වල බහාලුම් තුන් සිය විසි තුනක් යනුවෙන් සඳහන් වුව ද ඇත්තටම නිදහස් කර ඇත්තේ 309 ක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ කමිටුවේ වාර්තාව අනුව ඒ සිද්ධියට යමකු වගකිවයුතු නම් අදාළ සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මීට කලින් මෙවැනි සිද්ධියක් වුණා නම් ආණ්ඩුවට ගැලපෙන විදියට බොරු වාර්තාවක් හදන බවත් මුජිබර් කියන කතාව ඇත්ත නම් ජනාධිපති පත්කරපු කමිටුව කිසි නිලධාරියකු ආරක්ෂා කර නැති බවත් අමාත්‍යවරයා කීය. ආණ්ඩුව මේ වාර්තාව නිල වශයෙන් තවමත් ඉදිරිපත් කර නැති බවත් මුජිබර් මෙම වාර්තාව ඉදිරිපත් කිරීම ගැන සතුටු වන බවත් ඔහු කීවේය.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේ රේගුවේ බහාලුම් නිදහස් කිරීම මහා බැංකු හොරකමට නොදෙවෙනි ක්‍රියාවක් බවයි. මහා බැංකු හොරකමේ ඉලක්කම් ඇති නමුත් මේ හොරකමේ ඉලක්කම් වත් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා කන්ටේනර් සිද්ධියේ ඇත්ත ජනතාව දැනගත යුතු බවද සඳහන් කළේය.
මුජිබර්ගේ කතාව ඇහුවම මට බියක් වගේම මොන මූල්‍ය විනයක්දැයි හිතෙන බවද ඔහු කීවේය.මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පැවසුවේ මෙම කන්ටේනර් ගැන තමා ළඟ තොරතුරු රැසක් ඇති බවයි. තමාගේ කට වසා ඇති හෙයින් එය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval