21-year-old-receptionist-robbed-hotel-after-being-unable-to-bear-the-constant-advances

 කෑගල්ල, හිරිවඩුන්න ප්‍රදේශයේ පිහිටි හෝටලයක කළමනාකරුට පහර දී, කඩුවකින් කොටා රුපියල් එක්ලක්ෂ පනස්නවදහස් පන්සියයකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑමේ සිද්ධියකට අනුබල දුන් බවට චෝදනා ලත් විසි එක් හැවිරිදි තරුණියක් කෑගල්ල පොලිසිය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම තරුණිය අදාළ හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කර ඇති අතර,

හෝටල් හිමිකරු විසින් ඇයට දිගින් දිගටම සිදුකළ බව කියන අයුතු යෝජනා හේතුවෙන් සිය පෙම්වතාගේ ද සහාය ඇතිව මෙම පහරදීම සැලසුම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජපානයේ රැකියාවක නිරත ඇගේ පෙම්වතා, සිය පෙම්වතියට සිදුවන හිරිහැරය නතර කරන ලෙස හෝටල් හිමිකරුට දුරකථනයෙන් අවස්ථා කිහිපයකදීම අවවාද කර ඇතත් එය නොනැවත්වීම නිසා, කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට දැනුම් දී මෙම පහරදීම සඳහා කණ්ඩායමක් යොමුකර ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව, පසුගිය මැයි මස 28 වන දින රාත්‍රී 7.50ට පමණ හෝටලයට පැමිණි කණ්ඩායමක් කළමනාකරුට අතින් පයින් පහර දී ඔහුගේ අතකට කඩුවකින් ද කොටා තුවාල සිදුකර ඇත.

පහරදීමෙන් අනතුරුව එම කණ්ඩායම හෝටලයේ තිබූ පරිගණක යන්ත්‍රයක්, දෘඪ තැටි තුනක්, ස්මාර්ට් සහ සාමාන්‍ය දුරකථන දෙකක් සහ කළමනාකරුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 11,000ක මුදලක් ද ඇතුළුව රුපියල් 159,500ක් වටිනා දේපළ පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබිණි.



මෙම පහරදීම මෙහෙයවූ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කර ඉන් ඉවත්ව ගිය අයෙකු බව හඳුනාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබියදී, අදාළ ප්‍රධාන සැකකරු සිය බාල සහෝදරයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවට පොලිසිය කෑගල්ල අධිකරණයට කරුණු වාර්තා කළේය. පසුව, හෝටලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ඔහුව පසුගිය ජූනි 02 වන දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියෙන් පසුව මාවනැල්ල, වෑගන්තලේ ප්‍රදේශයේ සිය නිවසේ රැඳී සිටි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, සැකකාරිය පෙරේදා (30) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.