dr-maheshis-daughter-arrested-for-threatening-bribery-commission-officials

update 2.30pm
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
update 10.35 am
 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම තර්ජනය කිරීමේ සිද්ධිය පසුගිය 04 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සිදුවී ඇත. තම මවට අදාළ නඩු විභාගයක් අවසන් වී අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටි අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂක දොන් දිලුම් දුෂාන්ත සහ නීති සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ට අත දිගු කරමින්, ‘උඹලා දෙන්නා මරනවා’ යැයි ඇය විසින් තර්ජනය කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන 21 හැවිරිදි ශිෂ්‍යාවක් වන ඇය නැවත නිවසට පැමිණ, වැරදි චෝදනා එල්ල වී සිටින ඇගේ මව වෙනුවෙන් තනිවම සටනක් ගෙනියන බවත් නීතියට පිටින් කටයුතුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් විය. 



 පවතින නඩුව සඳහා සැකකරුවන් සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර අධිකරණ භූමියෙන් පිටවන අවස්ථාවේදී එම සැකකාරියගේ දියණිය අධිකරණ භූමිය අසල සිට පැමිණිලිකරුට හා සහකාර අධ්‍යක්ෂවරිය දෙසට අත දිගු කර මරණීය තර්ජනය කර තිබූ අතර ඇයගේ අදහසේ හැටියට මහේෂි විජේරත්නට එල්ලව ඇති චෝදනා අල්ලස් නිලධාරීන්ගේ පුද්ගලික උවමනාවකට පවරන ලද ඒවා ලෙස ගම්‍ය විය.
නමුත් මහේෂි විජේරත්න වෛද්‍යවරිය වංචනික ලෙස මැරුණ ලෙඩුන්ටද සැත්කම් කර මුදල් උපයා ඇති බවට හා තම සමාගමට ලෙඩුන් ගෙන්වා අධික මිලට ඖෂධ විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගිය බවට සියයකට වැඩි පිරිසක් සාක්ෂි ඉදිරිපත් කර තිබියදී ඔවුන් වෙනුවෙන් කටයුතු කරන ලද නිලධාරීන්ට ඇඟිල්ල දිගු කර තිබුණි.



සිද්ධියෙන් අනතුරුව, අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂකවරයා විසින් කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව, සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඇය පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසට ගොස් ඇති අතර, ඒ වන විට ඇය නිවස වසා දමා පළා ගොස් සිටි බවට වාර්තා විය.

කෙසේ වෙතත්, සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුව ඇයව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලීසිය පවසයි.