patient-services-in-crisis-as-government-hospitals-data-systems-are-disrupted

රජයේ රෝහල්වල රෝගීන්ගේ එක්ස්-රේ, සී.ටී. සහ එම්.ආර්.අයි. ස්කෑන් වැනි පරීක්ෂණවලට අදාළ දත්ත ගබඩා කරන පද්ධතිය (PACS) පාලනය කරන විදේශීය සමාගමක් සිය සේවාවන් හදිසියේ අත්හිටුවීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම තීරණයත් සමඟ රෝගීන්ගේ පෙර පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇති අතර, එය රෝගී ප්‍රතිකාර සඳහා බරපතල බාධාවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.





මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ, අදාළ සමාගමට ගෙවිය යුතු වාරික මුදල් රජය විසින් පැහැර හැරීම හේතුවෙනි. සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගීන්ගේ පැරණි වාර්තා නැවත ලබා දෙන ලෙස කිහිප වරක් ඉල්ලීම් කර ඇතත්, එම දත්ත ලබා දීම සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මෙම දත්ත පද්ධතිය සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 31ක, එනම් රුපියල් කෝටි 800කට ආසන්න දැවැන්ත මුදලක් වැය කර ඇති අතර, එම මුදල විදේශ ණයක් ලෙස ලබාගෙන තිබේ. විශේෂත්වය වනුයේ, 2016 වසරේදී මෙම ගනුදෙනුව සිදු කරන විට, මීට වඩා කාර්යක්ෂම දේශීය පද්ධතියක් මෙරට වෛද්‍යවරුන් විසින් රුපියල් ලක්ෂ 10ක් වැනි සුළු මුදලකට නිර්මාණය කර තිබීමයි. එවකට පත්කළ තාක්ෂණික ඇගයීම් කමිටුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවා ප්‍රතික්ෂේප කර තිබූ මෙම ව්‍යාපෘතිය, දේශපාලන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වූවක් බවට තොරතුරු වාර්තා වේ.

උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇතත්, එහි තීරණ ගැනීම ප්‍රමාද වෙමින් පවතී.

කමිටුවේ ඇතැම් සාමාජිකයින්, විදේශීය සමාගමේ සේවය අත්හැර දේශීයව නිර්මාණය කළ පද්ධතිය වෙත නැවත යොමු විය යුතු බවට යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක ගනුදෙනුවට මුල් වූ ප්‍රබල නිලධාරියෙකු ද මෙම කමිටුවට ඇතුළත් කර ඇති අතර, ඔහු හිඟ මුදල් ගෙවා එම සමාගමේ සේවයම තවදුරටත් ලබා ගත යුතු බවට පෙනී සිටීම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.