
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට ගාල්ල මහාධිකරණය මඟින් දස වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කෙරිණි. ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා දිනයේ සිට දඬුවම ක්‍රියාත්මක විය යුතු බවය.
මොරගහහේන, ගෝනපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි. ඊට අනුව, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ට අඩු පාසල් සිසුවියක් ජංගම දුරකථනයක් ඔස්සේ හඳුනාගෙන, ඇයව පෝද්දල පොලිස් බල ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන විත් 2014 වසරේ අගෝස්තු මස 01 වන දා සිට 31 වන දා දක්වා කාලය තුළදී අපයෝජනයට ලක් කර ඇත.
නඩු විභාගය අතරතුර විත්තිකරු අධිකරණයෙන් පළා ගොස් සැඟවී සිටි බැවින්, ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කර තිබිණි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එම නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසියේ පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විමර්ශන සිදු කළ අතර,
රජය වෙනුවෙන් නීතිඥ මාධවි සිල්වා මහත්මිය පැමිණිල්ල මෙහෙයවනු ලැබුවාය.